ධර්මපාල සමරු රිදී කාසියක්

Image copyright CBSL

ශ්‍රී ලංකා මහ බැංකුව අනගාරික ධර්මපාල තුමාගේ 150 ස් වෙනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු රිදී කාසියක් නිකුත් කර ඇත. රිදී ආලේපිත මෙම සමරු කාසියේ නාමික අගය රුපියල් පන්සීයකි.

අනගාරික ධර්මපාල තුමා විසින් ඉටු කරන ලද ජාතික මෙහෙයට බුහුමන් පිණිස එම විශේෂ සමරු කාසිය නිකුත් කළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

නිකුත් කරනු ලැබ තිබෙන සීමිත කාසි සංඛ්‍යාවෙන් එකක් රුපියල් 8700.00 කට මාර්තු 16 වෙනි දින පටන් මිලට ගත හැකි බවත් මහ බැංකුව පවසයි.

කොළඹ චැතැම් වීදියේ ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර අනුරාධපුර යාපනය සහ ත්‍රිකුණාමලය ශාඛා වලින් අනගාරික ධර්මපාල සමරු කාසිය මිලට ගත හැකි බවත් මහ බැංකුව නිවේදනය කර ඇත.

Image copyright presidentofindia.nic.in
Image caption ඉන්දියාවේ ජනාධිපතිවරයා ධර්මපාල සමරු මුද්දරයක් ප්‍රකාශයට පත්කළ අවස්ථාව.

අනගාරික ධර්මපාල 150 ස් වෙනි ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාව ද ඇතුළුව බොහෝ විදේශ රටවල සමරු වැඩ සටහන් ක්‍රියාත්මක කෙරුණි.

ඉන්දියා සහ ශ්‍රී ලංකා මහාබෝධි සමාගම් ආරම්භ කරමින් භාරතය තුළ බුදු සමය පුනර්ජීවනය කිරීමට කැප වීම සහ යුරෝපයේ හා ඇමෙරිකාවේ ධර්මදූත සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අනගාරික ධර්මපාල තුමා උපහාර ලබයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර