'ආණ්ඩුවේ ප්‍රධානියාත් ජනපතිමයි’- ඇමති චම්පික

Image caption අමාත්‍ය චම්පික රණවක.

ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි වන්නේ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල පමණක් බව ජාතික හෙළ උරුමය පවසයි.

විධායක ජනාධිපති ධුරය සම්පුර්ණයෙන් ම අහෝසි කිරීමෙන් රට අස්ථාවර වන බවට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට මතු වූ අදහස් ඒ හේතුවෙන් තවදුරටත් වලංගු නොවන බවයි අද, සඳුදා කොළඹ පැවැත්වුන ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය චම්පික රණවක සඳහන් කළේ.

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කරමින්, මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට යෝජනා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ ඉරිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ජාතික හෙළ උරුමයේ සහයෝගය ලැබෙන බව කියා සිටි චම්පික රණවක අමාත්‍යවරයා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින 100 වැඩ පිළිවෙළේ සඳහන් පරිදි විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල සීමා කිරීමක් පමණක් සිදු කෙරෙන බවයි පවසන්නේ.

‘දින සීයට’ අනුව

‘විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවක් කොතැනකවත් කියල නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සහයෝගය දුන් සියළු පක්ෂ එකඟ වූ වැඩපිළිවෙළ මගින් කියන්නේ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල සීමා කරනවා කියලයි’ චම්පික රණවක ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පසුගිය දොළොස්වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරෝධය පළකළේ එහි සඳහන් වූ කරුණු දෙකක් නිසා බව සඳහන් කළ අමාත්‍යවරයා එම කාරණා නව සංශෝධනයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි කියා සිටියේ.

Image caption ජනාධිපතිවරණ සමයේ හෙළ උරුමය නායකයන්.

‘රාජ්‍යයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වුනත් ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති කියලයි අළුත් සංශෝධනයට ඇතුළත්ව තිබුණේ. අපි ඊට විරුද්ධ වුනා. ඒ අනුව එම යෝජනා නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන්නේ නැහැ’ කැබිනට් මණ්ඩලය තුළ ජාතික හෙළ උරුමය නියෝජනය කරන ඇමතිවරයා පවසයි.

ඊට අමතරව 'අගමැති උපදෙස් මත ජනාධිපතිවරයා විධායකය හැසිරවිය යුතු බව' පැවසෙන ව්‍යවස්ථා සංශෝධනයත් ඉවත් කෙරුණ බවයි, චම්පික රණවක අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර