ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'රට ඉදිරියට යන්නේ බකල් ගසමින්'

නව සංශෝධනය මගින් සිදු වී ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කර ගැනීමට දායක වූ බොහෝ ක්‍රියාධරයන් ගේ ඉල්ලීම වී තිබුණේ විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමයි.

මේ පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවක යෙදුණු ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කියා සිටියේ රටට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් නම් අගමැතිවරයාට වඩා වැඩි විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු සිටිය නොහැකි බවයි.

‘මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙලා තියෙන්නේ ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමක්. එක පැත්තකින් රටේ සේනාධිනායකයා, රටේ නායකයා හා ආණ්ඩුවේ නායකයාත් ජනාධිපතිවරයා බවට පත් කරලා තියෙනවා. අපි යන්න බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමයකට. පාර්ලිමේන්තු පාලන ක්‍රමයකත් යම් බලයක් සහිත ජනාධිපතිවරයෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ ජනාධිපතිවරයා අගමැතිට වඩා බලවත් නැහැ.’ දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන් පැවසීය.

අවාසනාව

මෙම ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ තුළ ජාතිය ගොඩ නැගීම යන කාරණය පිළිබඳව ඡායා මාත්‍රයකුදු ඇතුළත් නොවීම ඉතා අවාසනාවන්ත තත්වයක් බවද ඔහු පවසයි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.

ජාතික ප්‍රශ්න නිරාකරණය කර ගැනීමේදී විධායක ජනාධිපතිවරයෙකු සිටීම වැදගත් වන බවට පවතින මතය සාවද්‍ය බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

‘ඒකෙ කිසිම සත්‍යතාවයක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමයක් තිබිලානේ අපිට වර්ගය, ආගම, කුළය මත ඇතිවුණු ප්‍රශ්න නිරාකරණය කර ගන්න බැරි වුණේ.’ වික්ටර් අයිවන් පැවසීය.

වසර තිහ

කෙසේ වෙතත් රට ආපස්සට ගමන් නොකරන බවත් ඉතා සෙමෙන් ‘බකල් ගසමින්’ ඉදිරියට යමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

මීට හේතුව ලෙස ඔහු දකින්නේ පසුගිය වසර තිහ ඇතුළත සිදු වූ විනාශය පිළිබඳව දේශපාලනඥයන් තුළ දැඩි කම්පනයක් තවමත් නොමැති වීමයි.

එම නිසා විශාල පරිවර්තනයකට ජාතිය තවමත් සුදානම් නැති බවද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පැවසීය.