තොරතුරු දැන ගැනීමේ පනත 'අප්‍රේල් මස පාර්ලිමේන්තුවට'

තොරතුරු දැන ගැනීමේ පනත අමාත්‍යංශ උපදේශක කාරක සභාව තුළ සාකච්ඡා කොට අප්‍රේල් මස මුල සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ජාතික විධායක සභාව තීරණය කර තිබේ.

මීට අමතරව විධායක ජනාධිපති බලතල කප්පාදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය මාර්තු විසිහතර වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එකඟතාවකට පැමිණි බවයි ජාතික විධායක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ.

‘මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කිරීමෙන් අනතුරුව එළඹෙන විධායක සභාවේදී ඒ පිළිබඳ අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එකඟතාවකට පැමිණියා’ ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත විශාල වශයෙන් නෙළා ගනිමින් සිටින ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් දැඩි ලෙස සාකච්ඡා කොට විධිමත් පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් ජාතික විධායක සභාව එකඟ වී තිබේ.

පරිසරයට විශාල හානියක් සිදු කෙරෙන නීති විරෝධී වැකි ගොඩ දැමීම නතර කිරීමට පියවර ගැනීම සඳහා එකඟතාවකට පැමිණි බවත් ඔහු සඳහන් කළේය.

‘ඒ වගේම මනම්පිටිය ප්‍රදේශයේ සම්ප්‍රදායිකව වැලි ගොඩ දැමීමේ යෙදුණු පුද්ගලයන් විශාල අසීරුතාවයන්ට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳ දැඩි සැලකිල්ලක් යොමු කොට ඔවුන්ට යම් සහනදායී පියවර ලබා දෙන්න එකඟතාවකට පැමිණියා’ යනුවෙන් ජාතික විධායක සභාවේ සාමාජික අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර