'ඇහුම්කන් දෙන්නේ මහ ජනතාවටයි, මහරාජලට නොවෙයි'

Image copyright AFP

රජයට එරෙහිව නැගුණු චෝදනාවක් විභාග කිරීම සහ ඒ ගැන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම මෑත ඉතිහාසයේ පළමුවරට සිදුවන්නක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරිමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවය පිළිබඳව අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

‘රජයට එරෙහිව චෝදනාවක් නැගුණු විට ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමත් ඒ ගැන සොයා බැලීමත් පරීක්ෂණ කමිටුවක් පත් කිරීමත් එතැනින් නොනැවතී පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමත් මෑත ඉතිහාසයේ මේ සිදු වන්නේ පළමු වතාවටයි’ අගමැතිවරයා පැවසීය.

‘ශ්‍රී ලන්කන්’

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් භාර දුන් මන්ත්‍රීවරුන් ‘ශ්‍රී ලන්කන්’ ගුවන් සේවය සම්බන්ධයෙන් එසේ නොකරන්නේ මන්දැයි අගමැතිවරයා එහිදී ප්‍රශ්න කළේය.

Image copyright cbsl.gov.lk
Image caption මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්

ඉකුත් දා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීමේ දී මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ බෑනාට අයත් සමාගමක් එම බැඳුම්කරවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

මේ පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ දැඩි විවේචනයට ලක් විය.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අවශ්‍ය නම් මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමට පසුබට නොවන බවයි.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශණය අවසන්වන තෙක් ඔහු නිවාඩු යැවීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

‘මේ මහජනයාගේ යුගයක්. මම ඇහුම්කන් දෙන්නේ මහජනතාවටයි. මහරාජලට නෙවෙයි. එම අඳුරු යුගය අවසන් කිරීමට ජනතාවට උවමනා වෙලා තියනවා’ ඔහු කියා සිටියේය.

'මඩ ගැසීම'

පසුගිය මාස දෙක පුරාම ඒ සම්බන්ධයෙන් කටයුතු කර ගෙන යන බව පවසන අගමැතිවරයා, වර්තමානයේ රට හමුවේ තිබෙන්නේ බැඳුම්කර ප්‍රශ්නය පමණක් නොව ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ඇතැම් පුද්ගලයන් සම්බන්ධ ගැට‍ළුවක් බවයි කියා සිටියේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරාජය කිරීමට උත්සාහ දැරූ මන්ත්‍රීවරුන් රජයට මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරත වී සිටින බවටද අගමැති රනිල් වික්‍රමසිංහ චෝදනා කරයි.

‘මීට පෙර ඔවුන් ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව පැරදවීමට උත්සාහ කළා. දැන් ඔවුන් සහ ඔවුන් වටේ ඉන්න කයිවරුකාරයන් පහත් පෙළේ දේශපාලන වාසි වෙනුවෙන් අපට මඩ ගහන්න උත්සාහ කරනවා’ අගමැතිවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර