'වරාය නගරයෙන් රටට අවදානමක් නැත්නම් කමක් නැහැ' - අර්ජුණ

Image caption පසුගිය රජයේ වාර්තා සම්බන්ධයෙන් තමන්ට වැඩි විශ්වාසයක් නැති බවයි ඔහු පවසන්නේ

මාර්තු මස 27 හා 28 යන දිනයන් ට යෙදී ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ චීන සංචාරයේදී කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එරට නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා ආමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

මේ වන විට ඉදිකිරීම් අත්හිටුවා තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තාව හැකි ඉක්මනින් ලබා දෙන ලෙස එම පරීක්ෂණය සිදු කරන කණ්ඩායමෙන් ඉල්ලා ඇති බවයි අමාත්‍යවරයා අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට නම් එමගින් රටට අනතුරක් නොවන බවට තහවුරු විය යුතු බව පවසන වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පරිසරයට කෙරෙන බලපෑම මෙන් ම ඒ සඳහා යොදා ගන්නා ඉඩම්වල හිමිකම පිලිබඳ ඇතිවී තිබෙන ගැට‍ළු ගැන ද අවධානය යොමුකළ යුතු බවයි අවධාරණය කළේ.

'විශ්වාස නැහැ'

" මේක වැල්ලවත්ත ගල්කිස්ස පැත්තෙන් එහෙම නැත්නම් වත්තලින් ඇතුළට කඩා ගෙන ගියොත් අපිට ප්‍රශ්නයක්, ඒ නිසා පරිසර වාර්තා වගේ ම හැම වාර්තාවක්ම පරික්ෂා කරලා තමයි අපි මේ ගැන තීරණයක් ගන්නේ" යනුවෙනුයි ඔහු පැවසුවේ.

පසුගිය රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පරිසර වාර්තාව කෙසේ පිළියෙළ කළා දැයි සොයා බැලිය යුතු බව පැවසුවේ පසුගිය රජයේ වාර්තා සම්බන්ධයෙන් තමන්ට වැඩි විශ්වාසයක් නැති බව පවසමින්.

"අපේ රටට අවදානමක් නැත්නම් මේ සංවර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කිසිම හේතුවක් මේ රජයට නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

අදාළ ඉදිකිරීම් ආරක්ෂා කිරීම සදහා ආරක්‍ෂිත ගල් පරයක් දැමීමට අදාළ සමගම රජයෙන් ඉල්ලා ඇති බව පැවසූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඒ සදහා අවසර ලබා දීමට බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර