ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වරාය නගරය ගැන 'ආණ්ඩුවේ ස්ථාවරය හෙළිකරන්න'

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කරන මෙන් අධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය එම නියෝගය කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී රවීන්ද්‍රනාත් දාබරේ කියා සිටියේය.

"මෙම පෙත්සම විභාගයට ගැනීමට පෙර අදාළ ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක කරනවාද නැතිනම් එය නවත්වනවාද යන්න පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරගැනීම වැදගත් බව විනිසුරුවරු කියා සිටියා. ඒ අනුව පෙත්සම අප්‍රේල් මස 29 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මේ පිළිබද රජයේ ස්ථාවරය දැනුම් දෙන මෙන් නීතිපතිවරයාට නියම කළා," නීතිවේදී දාබරේ පැවසීය.

ශ්‍රී ලංකාවට අයත් මුහුදේ කොටසක් ගොඩකර වෙනත් රටකට පැවරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ තර්ක කළේය.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියා සිටින පෙත්සම්කරුවෝ අදාළ ව්‍යාපෘතිය ඇරඹීමට පෙර නිසි පාරිසරික ඇගයීම් වාර්තා ලබාගෙන නොමැති බවටද චෝදනා කරති.