මහින්ද; අපැහැදිලි දේශපාලන ආගමනය

Image copyright Reuters

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා වශයෙන් තරඟ කරන්නේ නම් ඔහු ඉදිරිපත් වෙන දේශපාලන පක්ෂය කුමක්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විවිධ අදහස් පළ වෙමින් පවතී.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නොව වෙනත් පක්ෂයකින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක් පවතින බවක්‌ ඇතැම් මාධ්‍ය වාර්තා මගින් කියවුනත් හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ තමන් කිසි දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමාට අයත් ලංකා කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බව ප්‍රකට ව්‍යපරිකයකු වන ඒ.එස්.පී. ලියනගේ පවසයි.

තුන්වැනි බලවේගයකින්

මේ අතර හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලනයට ගෙන ඒමට පුරෝගාමීව කටයුතු කරන පිවිතුරු හෙළ උරුමය නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කිසිදු වුවමනාවක් නැති බවයි.

Image caption මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ඒමේ පුරෝගාමීන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වන උදිත ලොකුබණ්ඩාර බීබීසී සදේශයට ප්‍රකාශයක් කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තියක් වීම පිණිස ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වීමට බොහෝ ඉඩකඩ ඇති බවයි සඳහන් කළේ .

හිටපු ජනාධිපතිවරයා නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවට මාධ්‍ය මගින් වාර්තා පළ වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කණ්ඩායමක් එසේ නොකරන මෙන් ඔහු හමු වී සාකච්ඡා කළ බවක් ද වාර්තා වෙයි.

ඒ ගැන අදහස් දක්වමින් උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ ජයග්‍රහණයට අවශ්‍ය සියළු පාර්ශව එක් කර ගැනීමේ උත්සාහයක පක්ෂය නිරත වෙමින් ඇති බවයි.

එන්නේ නැහැ

විශාල දේශපාලනය අවබෝධයක් සහිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසි දිනක තුන්වැනි පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි තමා නොසිතන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙන්නේ.

‘එතුමා වරක් අපට කිව්වා - මේ පක්ෂය නිසා අපි ඔක්කොම රැකෙන බව. මම හෙට මේ පක්ෂයෙන් ගියොත් මට ඡන්ද නැහැයි කියල එතුමා කිව්වා. එතුමා ඒක හොදින් දන්නවා’ රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි.

ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රී පදවියක් සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ තුසිත හල්ලොලුව පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නේ, හිටපු ජනාධිපතිවරයාට පක්ෂයේ දොරටු විවෘත වෙතැයි සිතිය නොහැකි බවයි.

Image caption මහින්ද ඉල්ලන රැළියක්

හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන ආගමනය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බවයි මේ අතර සමාජ සේවා ඇමති පී.හැරිසන් පවසන්නේ.

අභියෝගයක් නොවෙයි

‘රාජපක්ෂලාගේ හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට එලි වේවි. ඩුබායි ගිණුම් ගැන තොරතුරු හෙළි වෙලා තියෙනවා. අනික සියළු බලය තිබිලා ලක්ෂ හතර හමාරකින් පැරදිච්ච පුද්ගලයා දැන් අපට අභියෝගයක් වෙන්නේ කොහොමද? පී.හැරිසන් ඇමතිවරයා පවසයි.

මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණීම ස්ථිර නමුත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද එසේ නැතිනම් වෙනත් පක්ෂයකින් ද යන්න තීරණය වන්නේ ඉදිරි දේශපාලන වාතාවරණය අනුව බවයි හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ.