“ඉඩම් බැලීමට අයිතිකරුවන්ට අවසර නෑ”

යාපනයේ වලිකාමම් උතුර පළාතේ අධිආරක්ෂිත කලාපයට හසුවූ ඉඩම් ඒවායෙහි අයිතිකරුවන්ට ආපසු ලබා දෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දැණුම් දෙන ලද නමුත් එම ඉඩම් බැලීමට තමන් ගිය අවස්ථාවේ දී යුද හමුදා නිලධාරීන් ඊට ඉඩ ලබා නොදුන් බව යාපනයේ වැසියන් පිරිසක් පවසති.

එස්.සෙල්වනාදන් නැමති කතෝලික පූජකවරයා කියා සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් යළි පදිංචි කරන්නන් වෙනුවෙන් පිහිටුවා ගත් සංගමයේ තමන් සභාපතිවරයා වශයෙන් පත් කර ගත් නමුත් ඉඩම්වලට යාමට තමන්ටද අවසරයක් නොලැබුණු බවයි.

යුද හමුදා නිලධාරීන් පැවසුවේ ඒ සඳහා ඉහළින් යාපනයේ නිලධාරීන්ට නියෝගයක් මෙතෙක් ලැබී නොමැති බවයැයිද පූජකවරයා කියා සිටියේය.

Image copyright bbc

යාපනයේ තවත් වැසියෙකු කියා සිටියේ වලිකාමම් පළාතේ ඉඩම් යුද හමුදාව විසින් අධි ආරක්ෂිත කලාපයට ලබාගැනීමෙන් පසුව තාවකාලිකව යාපනයේ වාසවිලාන් පලාතට ගිය බවයි.

එසේ ග්‍රාම සේවා වසම් දෙකකට අයත් පවුල් 213 ක් යළි පදිංචිය සඳහා වලිකාමම් පළාතට ගියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එම ඉඩම් වල පදිංචියට යන මෙන් කළ දැණුම් දීමකට අනුව බවද ඔහු පැවසුවේය.

යළි පදිංචියට ගිය වැසියන්ට එහි යාමට අවස්ථාව නොලැබීමේ සිද්ධිය ගැන සොයා බැලීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එස්.සරවනබවන් සහ එස්.ශ්‍රීධරන් ගොස් ඇති අතර ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ඉඩම් ලබා දීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවී ඇති බවයි.

ඇතමුන්ගේ නම් සඳහන්ව ඇතත් තවත් පිරිසකගේ නම් සඳහන් වී නොමැති බව කී මන්ත්‍රීවරයා නම් 21 ක් පමණක් නිවැරදිව සටහන් වී ඇති බවයි පැවසුවේ.

නම් සඳහන් නැති පිරිසට යුද හමුදාව ඉඩම් වලට යාමට අවසර ලබාදී නැති බව කී මන්ත්‍රීවරයා ලබන 23 වෙනිදා ජනාධිපතිවරයා යාපනයට පැමිණෙන විට මෙම ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනතාවට පොරොන්දු වූ බවද කියා සිටියේය.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගෙන් මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ යාපනයේ වැසියන්ට යුද හමුදාව විසින් එවැනි බාධා කිරීමක් කළ බවට තමන්ට තොරතුරු ලැබී නොමැති බවත් තමන් ඒ ගැන නොදන්නා බවත්.

උතුරු පළාතේ යළි පදිංචියට යන වැසියන් සඳහා යුද හමුදාව විසින් අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබා දෙන බව සඳහන් කළ හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කිසියම් ගැටලුවක් ඇතිවූ බව යාපනයේ වැසියන් පවසන්නේ නම් ඒ වැරදි අවබෝධයකින් කරණ ප්‍රකාශයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.