ගම් බිම් බලා යාමට බලා සිටින ‘සාම්පූර්’ අනාථයෝ

Image copyright bbc
Image caption අනාථ කඳවුරේ දරුවන්.

යුද්ධ ය නිසා අනාථ වූ ‘සාම්පූර්’ ජනතාව යළි ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කරවීමේ වැඩ පිළිවෙලට අදාළ නෛතික කටයුතු ලබන අප්‍රියෙල් මාසයේ මැද භාගය වන විට සම්පූර්ණ කර ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු තබන බව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු පවසයි.

බීබීසී සංදේශය වෙනුවෙන් ආර්.ජී.ධර්මදාස කළ විමසීමක දී ආණ්ඩුකරු කියා සිටියේ ඉඩම් අත්පත් කර ගැනීමේ නීතිය යටතේ නැවත පැවරීම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇති බවයි.

2006 නැගෙනහිර යුද්ධය ආරම්භ වීමත් සමඟ උන් හිටි තැන් අහිමිව වසර නවයක කාලයක් කඳවුරුවල සිටින ජනතාව ලබන අප්‍රියෙල් මාසයේ සිංහල -හින්දු නව අවුරුදු සමය උදාවත් සමඟ සිය ගම් බිම් වල වාසයට යාමේ බලාපොරොත්තුවෙන් පසු වෙන බවයි, ඔවුන් හමු වූ සංදේශය වාර්තාකරු ආර්.ජී.ධර්මදාස පවසන්නේ.

නව අවුරුද්දේ ගමට

නැගෙනහිර යුද්ධය ආරම්භවීමත් සමඟ මුත්තුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් එකොළහක ජනතාව යුද අනාථයන් බවට පත් වී සිටිති.

2013 වන විට ග්‍රාම සේවා වසම් නවයක ජනතාව යළි පදිංචි කෙරුණත් සම්පුර් නැගෙනහිර සහ බටහිර ග්‍රාම සේවා නිලධාරී වසම් දෙකේ පවුල් 825 ක් තවමත් ජීවත් වන්නේ මුත්තුර් අනාථ කඳවුරු වලයි.

පසුගිය රජය ‘සාම්පූර්’ වැසියන් සතු ඉඩම් ආයෝජන මණ්ඩලයට, නාවික හමුදා කඳවුරු වලට සහ ගල් අඟුරු බලාගාරයකට වෙන් කර දුන් අතර ඉඩම් හිමියන්ට එම ඉඩම් වලට පිවිසීමත් තහනම් කරනු ලබයි තිබුණේ .

‘විදුර’ කියල නාවික හමුදා කඳවුරක් පිහිටුවල තියෙනව. එම කඳවුර ඒ ආසන්නයේ වෙනත් තැනකට ගෙන ගිහින් නව පන්නයේ නාවික පුහුණු කඳවුරක් තනා දී ඒ ඉඩම් ප්‍රමාණයට අවතැන් පවුල් 579 ක් නැවත ගෙන ඒමට අපි අපේක්ෂා කරනවා’ ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු පවසයි.

අවතැන් ජනතාව ජීවත් වෙන කඳවුරු කරා ගිය ආර්.ජී.ධර්මදාස පවසන්නේ එම කඳවුරු තුළ උපන් නව පරපුර කඳවුරු කුටි තුළ අකුරු කරනු තමා දුටු බවයි.