ද්විත්ව පුරවැසිභාවය: 'රටවල් නමයකට පමණයි'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විදේශීය රටවල් නමයක වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සඳුදා සිට යළිත් වරක් ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ හැකි බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි.

ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන නව නිර්ණායක සඳුදා නිවේදනය කළ බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ අමාත්‍යවරයා, නව නිර්ණායක සහ අයදුම්පත ඇතුලත් නව වෙබ් අඩවියක් ආරම්භ කෙරුණු බවත් සඳහන් කළේය.

ඒ අනුව බ්‍රිතාන්‍ය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය ඇතුළු රටවල් නමයක වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට පමණක් ඒ සඳහා ඉලුම් කළ හැකි බවයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා පවසන්නේ.

'අවලංගු කරනවා'

"අනෙක් රටවල ඉන්න අයට ඒක ලබාගන්න බෑ මොකද ඒ රටවල පුරවැසිභාවය සම්පූර්ණයෙන් අතඇරියොත් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. එක නිසා ඒක මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ නෑ," අමාත්‍ය ජෝන් අමරතුංග සඳහන් කළේය.

Image caption ද්විත්ව පුරවැසිභාවය ලබාදීම අත්හිටුවීම නිසා 'බරපතල දුෂ්කරතාවලට මුහුණ දුන්නා'

වැඩිහිටියකුගේ අයදුම්පතක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අයකිරීමට මුලින් තීරණය කොට තිබුණත් එය රුපියල් දෙලක්ෂ ලක්ෂ දක්වා අඩු කරන අතර වයස අවුරුදු 22 ට අඩු අයකුගෙන් අය කරනු ලබන්නේ රුපියල් පනස් දහසක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

අයදුම්පත් සලකා බලා ඒ පිළිබඳව ඉක්මනින් තීන්දු ලබා දෙන මෙන් අදාළ කමිටුවට උපදෙස් දී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

විදේශගත ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මීට වසර හතරකට ඉහතදී මහින්ද රාජපක්ෂ පරිපාලනය විසින් අත්හිටවනු ලැබීය.

එසේ අත්හිටුවා තිබුණ අතරවාරයේ රහසිගතව ද්විත්ව පුරවැසිභාවය ලබා දුන් 2000 කට ආසන්න පිරිස පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

"අපි ඒක ගැනත් හොයනවා. ඒවා ක්‍රමානුකූලව කරලා තියෙනවද, හොරට කරලා තියෙනවද කියල."

ලාංකිකයන්ගේ ප්‍රසාදය

නීතිවිරෝධී ලෙසින් ලබා දී ඇති බව අනාවරණය වුවහොත් ඒ සියලු ද්විත්ව පුරවැසිභාවයන් අවලංගු කරන බව අවධාරණය කරන අමාත්‍යවරයා, එයට වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් කරන බවත් සංදේශයට පැවසීය.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රසාදය පළ කරන විදේශගත ශ්‍රී ලාංකිකයෝ, විදේශීය ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවල තමන්ට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ බව පවසති.

මෑතදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයකදී සිය දියණියන් දෙදෙනා ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රවලින් ගමන් කිරීම හේතුවෙන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ බවයි, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින සමාජ ක්‍රියාධරයකු වන ප්‍රසන්න කුරුකුලරත්න බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

මෙවැනි දුෂ්කරතා හමුවේ ද්විත්ව පුරවැසිභාවයලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් උනන්දුවන් බලා සිටින බව පවසන ඔහු, එමෙන්ම සිය මවුබිමට සේවය කිරීමටත් බොහෝ විදේශගත ශ්‍රී ලාංකික වෘත්තිකයන් බලාපොරොත්තුවෙන් සිටින බවත් පැවසීය.

යුද්ධයෙන් අනතුරුව උතුරු විදේශීය ගමන් බලපත්‍ර සහිතව උතුරු නැගෙනහිර පලාත්වල සංචාරය කළ දෙමළ ජනතාව සිංහල ජනතාවට වඩා අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ ආකාරය තමන්ට දැනගන්නට ලැබුන බවත් ප්‍රසන්න කුරුකුලරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර