ලොව බලවත් නායකයන් මවිත කළ ලී ක්වාන් යූ

Image copyright Getty

සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ලී ක්වාන් යූ ගේ අභාවය වෙනුවෙන් රට තුළ සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට ඇති අතර ලෝක නායකයෝ ඔහු වෙනුවෙන් උපහාරය පළ කරමින් සිටිති.

ලී ක්වාන් යූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දේශපාලනය ගැනත් බොහෝ අදහස් පළ කර ඇති නායකයෙකි.

සිංගප්පූරුවේ හිටපු නායක ලී ක්වාන් යූ ඉතිහාසයේ හිමි කර ගනු ලබන ස්ථානය පිළිබඳව සන්දේශයට අදහස් දැක වූ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී විශාකා සූරියබණ්ඩාර කියා සිටියේ ඔහු ලිබරල් ධනවාදී ප්‍රතිපත්ති නිවැරදිව හඳුනාගෙන එය තීක්ෂණව සහ විචක්‍ෂණව භාවිතා කළ බවයි.

Image copyright AP

විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් සිංගප්පූරුව නගර රාජ්‍යයක් බවට පත් කිරීමේ දී ලොව බලවත් යැයි සැලකෙන නායකයන් මවිත කරවීමට ලී ක්වාන් යූ සමත් වූ බවද ඇය පැවසුවාය.

‘සිංගප්පුරු මොඩලය ලංකාවට හඳුන්වාදීමට ජේ ආර් ජයවර්ධනගේ දැඩි කැමැත්තක් තිබුනා. අධිකාරී වාදී පාලනයකට ගොස් විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කළේ මේ වෙනුවෙන්. විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්නට ජේ ආර් ජයවර්ධනට ඕන කමක් තිබුන නිසා.’ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී විශාකා සූරියබණ්ඩාර පැවසුවාය.

Image copyright BBC World Service

මුලදී වරාය නගරයක් ලෙස පැවතුණු සිංගප්පූරුව ලොව පොහොසත්ම රාජ්‍යයන් අතරට ගෙන ඒම සඳහා ලී ක්වාන් යූ පාලන සමයේදී සිංගප්පූරුව තුළ ද අධිකාරීවාදී පාලන තන්ත්‍රයක් පැවති බවයි ඇය පවසන්නේ.

‘ලී ක්වාන් යූ ගේ ප්‍රකාශයක් මට උපුටා දක්වන්න පුළුවන්. ඔහු කිව්වා මම ලෙඩ ඇඳේ සිටියත් මාව භූමිදානය කරලා තිබුනත් සිංගප්පූරුවේ යන ක්‍රමය වැරදියි කියල කිව්වොත් මම එතැනින් නැගිටලා ඇවිත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කියල. ඒ ප්‍රකාශයෙන්ම පේනවා ඔහු කෙතරම් දැඩි තීරණ ගත් නායකයෙක් ද කියල. අධිකාරී වාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අන්තය. ඒ තැන ඉඳගෙන තමයි ලී ක්වාන් යූ සිංගප්පූරුව ඔය තැනට ගෙනාවේ.’ විශාකා සූරියබණ්ඩාර කියා සිටියාය.

Image copyright BBC World Service
Image copyright Reuters