රුසියාවේ හිටපු තානාපතිට 'ආයුධ වෙළඳාම් චෝදනා'

Image copyright EPA
Image caption රුසියානු හිතවාදී කැරලිකරුවන්ට ආයුධ විකුණා ඇති බවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයාට චෝදනා

යුක්‍රේනයේ සටන් වදින රුසියානු හිතවාදී කැරලිකරුවන්ට ආයුධ විකුණා ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංගට චෝදනාවක් එල්ල වී තිබෙන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒ පිළිබඳව යුක්‍රේන ජනාධිපති පෙත්‍රෝ පොරොශේන්කෝ ශ්‍රී ලංකා රජයට පැමිණිලි කොට ඇති බවයි, විදේශ අමාත්‍ය මංගල සමරවීර සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග වෙසෙන ස්ථානයක් පිළිබඳ තොරතුරක් නොමැති බවද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී දෙමළ සේවයට පැවසීය.

සාමාන්‍යයෙන් තානාපතිවරයකු සිය ධුරයේ කටයුතු කරන්නේ වසර තුනක පමණ කාලයක් වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ඥාති සොහොයුරකු වීම හේතුවෙන් වසර අටක්ම තානාපති තනතුරේ කටයුතු කිරීමේ වරප්‍රසාදය ඔහුට හිමි වී තිබුණ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය ලබා ගැනීම පිණිස හිටපු තානාපතිවරයා වෙසෙන ස්ථානයක් සොයා ගැනීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ අතර ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා කරන ප්‍රකාශය සනාථ කිරීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවයි, යුක්රේන විදේශ අමාත්‍යාංශය බීබීසී ය කළ විමසීමකදී කියා සිටියේ.