ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාතික ආණ්ඩුවක් නොවේ 'හවුල් ආණ්ඩුවක්'

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලයට එක්වී පිහිටුවා ගන්නා ලද්දේ ජාතික ආණ්ඩුවක් නොව හවුල් ආණ්ඩුවක් බව පවසන ජනතා විමුක්ති පෙරමුණ එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ලැබුණු ජනවරමට පිටුපෑමක් බව සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපය එක් වී 'හවුල් ආණ්ඩුවක්' පිහිටුවා ගැනීමට ජනපතිවරණයේදී හෝ 2010 අප්‍රේල් මාසය පැවැත්වුණු මහ මැතිවරණයේදී ජනවරමක් ලැබී නැති බව පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

"ජනවාරි මාසේ 08 වෙනිදා ජනතාව පරාජයට පත් කළේ රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක් නෙවෙයි, ඔහුගේ පාලනය," මන්ත්‍රීවරයා පැවසීය.

හෙළ උරුමයේ විරෝධය

ඒ පිළිබඳව ජාතික විධායක සභාවේදී දැඩි විරෝධය පළකිරීමට සූදානම්ව සිටි නමුත් අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබුණු රැස්වීම කල් දැමුණු බව සඳහන් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, ජාතික විධායක සභාවේ තවදුරටත් රැඳී සිටින්නේද යන්න ඉදිරියේදී තීරණය කිරීමට සිදු වනු ඇති බවත් කියා සිටියේය.

Image caption ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජාතික හෙළ උරුමය නගන විරෝධය 'එතරම් බරපතල ලෙසින් සැලකිය යුතු නෑ'

කෙසේ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජාතික හෙළ උරුමය නගන විරෝධය එතරම් බරපතල ලෙසින් සැලකිය යුතු නැති බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

ජාතික හෙළ උරුමය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය භාවිත කළ බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, එම පක්ෂය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූ බවද සිහිපත් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු අතර, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයට පමණක් සීමා වන පරිදි ඔහුට විධායක බලතල පැවරෙන අන්දමට අන්තර් කාලීන විධිවිධාන සකස් කළ යුතු බවත් සිය පක්ෂයේ ස්ථාවරය බව ඔහු අවධාරණය කළේය.

මැතිවරණ ක්‍රමය

මැතිවරණ ක්‍රමයේ සංශෝධනයකට සිය පක්ෂය කිසිසේත් විරුද්ධ නොමැති බව අවධාරණය කරන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය හරහා බවද බීබීසී සංදේශයට පැවසීය.

"අපේ රටේ නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කරන්න අපි උපරිම සහාය ලබාදීමට සූදානම්. මිශ්‍ර ක්‍රමයක් පිළිබඳ අපේ එකඟතාවය තිබෙනවා," අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"දැනට ගැටලුව මතු වී තිබෙන්නේ මිශ්‍ර ක්‍රමයට සමානුපාතික ක්‍රමයෙන් ආසන කොච්චර අත්පත් වෙනවාද කියන එක පිළිබඳව."

සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලුව විසඳාගෙන, අදාළ නීති සම්මත කොට, මේ වසරේ ජුනි මාසයේ පැවැත්වීමට යෝජිත මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙන අවසාන මහ මැතිවරණය බවට පත් කළ හැකි බවයි, මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.