මත්පැන් බද්දට තහනම් නියෝගයක්

මත්පැන් සහ බීර නිෂ්පාදකයින් මාසිකව රුපියල් මිලියන 200 ක අවම බද්දක් ගෙවිය යුතු බවට රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

මත්පැන් නිෂ්පාදකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අග්‍ර විනිශ්චයකාර කේ ශ්‍රීපවන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය කළේ.

පෙත්සම්කරුවන් පවසන්නේ සුරාබදු පනත යටතේ මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයාට බලයක් නො මැති බවයි.

මෙම නියෝගය හේතුවෙන් මත්පැන් නිෂ්පාදන කර්මාන්තයේ නිරත වුවන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව කී පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීන්, කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ ව්‍යාපාර කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවද ප්‍රකාශ කළේය.

රජයේ නීතිවේදියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අයවැය යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කෙරෙන මෙම බද්ද පිළිබඳව අධිකරණයක් හමුවේ ප්‍රශ්න කිරීමට හැකියාවක් නොමැති බවට තර්ක කළේය.

මෙම බදු යෝජනාව ඇමති මණ්ඩලය මෙන්ම පාර්ලිමේන්තුව මගින් ද අනුමත කර ඇති නිසා එය අභියෝගයකට ලක් කල නොහැකි බවයි රජයේ නීතිවේදියා කියා සිටියේ.

රජයේ පාර්ශවයේ තර්ක ඉවත දැමු අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් අදාළ තහනම් නියෝගය නිකුත් කළේය.

පෙත්සම විභාග කිරීම 30 වනදා පැවැත්වෙන අතර විරෝධතා ඇත්නම් එදිනට පෙර ඉදිරිපත් කරන මෙන් වග උත්තරකාර මුදල් ඇමති ඇතුළු පිරිසකට නියෝග කර තිබේ.