‘විසිවෙනි සංශෝධනයක් අවශ්‍යයි’- ශ්‍රීලනිප

Image copyright anurapriyadarshanayapa.com
Image caption මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රටේ ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය වන්නේ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නම් පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කොට කේවල මන්ත්‍රී ඡන්ද කොට්ඨාශ ක්‍රමයට යා යුතු බවයි.

ශ්‍රීලනිප මහ ලේකම්වරයා එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන මෙන් යෝජනාවක් ද කළේය.

‘අපි යෝජනා කරලා තියෙනවා ව්‍යවස්ථා සංශෝධන දෙකක්. එකක් දහනව වැනි සංශෝධනය. දෙවැන්න, විසි වැනි සංශෝධනය. මැතිවරණ සංශෝධනය විසිවැනි සංශෝධනය හැටියට ගේන්න කියලයි අපි කියන්නේ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා පවසයි.

එම යෝජිත සංශෝධන දෙක ඉක්මනින් ක්‍රියාවට නැංවිය හැකි බව මැතිවරණ කොමසාරිස්වරයාත් කියා ඇති හෙයින් ‘මේ පාර්ලිමේන්තුව තවත් වසරක කාලයක් යාමේ අවශ්‍යතාවක් නොමැති’ බවයි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසන්නේ.

එම සංශෝධන දෙකකින් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගැනීම තුලින් මහජනයාට අලුත් මැතිවරණ ක්‍රමයක් යටතේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත හැකි වන බව ඔහු පෙන්වා දෙයි.

අලුත් මාදිලියේ විධායකයක්

Image copyright AFP
Image caption ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න

‘මේ අනුව අලුත් විධියට ක්‍රියා කරන ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත් කර ගැනීමටත් මහජනයාට අවස්ථාව ලැබෙන’ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා පවසයි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මාධ්‍ය හමුව අමතමින් එක්සත් ජාතික පක්ෂය දරන මතය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන මතය එකිනෙකින් වෙනස් බවයි කියා සිටියේ.

විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් තම පක්ෂය දරන මතය වන්නේ 'එම පදවිය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය' යන්න බවයි, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මන්ත්‍රීවරයා පවසන්නේ.

‘එම පදවිය සතු ඒකාධිපති බලතල ඉවත් කොට ප්‍රජාතන්ත්‍රවාදී තත්වයකට ගෙන ආ යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි’හිටපු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න පවසයි.

දැන් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය අහෝසි කොට අගමැති ප්‍රමුඛ කැබිනට් පාලන ක්‍රමයක් නිර්මාණය කළ යුතු බවයි.