ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අතුරුදහන් වූවන්ගෙන් පිරිසක් සිර භාරයේ'

පසුගිය කාලයේ අතුරුදහන් වූවන්ගෙන් පිරිසක් රජයේ බාරයේ සිටින බවට සාක්ෂි සහිතව ඔප්පු කළ ඡායාරූප තමන්ට ලැබී තිබෙන බව අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව පවසයි.

රට තුළ කිසිදු රහස් කඳවුරක් නැති බවට අගමැතිවරයා පැවසුවත් තවදුරටත් නිත්‍යානුකුල නොවන ආකාරයකට පුද්ගලයන් රඳවා ගැනීම සිදු වන බව මෙම ඡායාරූප සාක්ෂි මගින් ඔප්පු වන බවයි මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී මාධ්‍ය හමුවක් අමතමින් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසුවේ.

2008 වසරේදී අතුරුදහන් වූ එවකට 24 හැවිරිදි තම පුත්‍රයා වැලිකඩ බන්ධනාගාරයේ පසුගිය ජනවාරි මස 16 වැනිදා පැවති තෛපොන්ගල් දින උත්සවයේ ගත් ඡායාරූපයේ සිටින බව මන්නාරමේ පදිංචි මැනුවෙල් උදය චන්ද්‍රා ඡායාරූපය මාධ්‍යට ඉදිරිපත් කරමින් පැවසුවාය.

ප්‍රශ්න කිරීමට ඇති බව පවසමින් 2008 වසරේදී සුදු වෑන් රථයකින් තම පුත්‍රයා රැගෙන ගිය බව පවසන මැනුවෙල් උදයචන්ද්‍රා ඉන් පසු මෙම ජයරුපය දකින තුරු ඔහු ගැන තොරතුරක් නොතිබූ බවයි සඳහන් කළේ.

"ඔහුව නිදහස් කළේ නැතත් කමක් නැහැ, මට එක පාරක් බලන්න දෙන්න" ඇය ඇඬු කඳුළින් පැවසුවාය.

මැනුවෙල් උදයචන්ද්‍රා මෙන් දෙමාපියන් 6 දෙනකු වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන්ගේ උත්සවයේදී ගත් බව පවසන ඡායාරූපයේ තම දරුවන් සිටින බව හඳුනා ගෙන ඇති බවයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු ඡායාරූප මාධ්‍යයට පෙන්වමින් පැවසුවේ.

යාපනයේදී වසර ගණනාවකට පෙර අතුරුදහන්වූ පුද්ගලයෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙමළ මැතිවරණ ප්‍රකාශනයේ එල්.ටි.ටි.ඊ සංවිධානයේ හිටපු පුනරුත්ථාපනය වන සාමාජිකයෙක් ලෙස පල කල ඡායාරූපයක සිටින බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු එම මැතිවරණ ප්‍රකාශනයේ ඇති ඡායාරූපය ද මාධ්‍යයට පෙන්වමින් පැවසුවේ.

වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාසල් සිසුන් සමග සිටින ඡායාරූපයකද අතුරුදහන් වී සොයන දරුවෙක් සිටින බව පැවසූ බ්‍රිටෝ ප්‍රනාන්දු එම ඡායාරූපය ජනාධිපති වීමට පෙර හෝ පසු ගත් එකක්දැයි හඳුනා ගත නොහැකි බවයි කියා සිටියේ.

මෙවැනි සිද්ධීන් 20 ගණනක් දැනට වාර්තා වී ඇති බව පවසන අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු ඔවුන් සොයා දීමට මැදිහත් වීම රජයේ වගකීමක් බවයි සඳහන් කළේ.

රට තුල කිසිදු රහස් කඳවුරක් නොමැති බවත්, අතුරුදහන්වුවන් ජීවතුන් අතර නැති හෝ විදේශ ගත වෙන්නට ඇතැයි යයි පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය නිවැරදි නොවන බව පෙන්වා දීමට මෙම මාධ්‍ය හමුව කැඳවූ බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසුවේ.