‘අප පරාජය කළ නොහැක’ - මහින්ද

Image caption රැලියට පැමිණි ජනතාව

මැතිවරණයෙන් පරාජය වුනත් තමන් සහ තමන් සමඟ සිටින කිසිවකු දේශපාලනයෙන් පරාජය කළ නොහැකි බව සතුරාට අවධාරණය කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියි.

හිටපු ජනාධිපතිවරයා එම අවධාරණය කිරීම සිදු කළේ, ඔහු යළි දේශපාලනයට ගෙන ඒමට සංවිධානය කෙරෙන මහජන රැස්වීම් මාලාවේ රත්නපුර රැළියට එවන ලද ප්‍රකාශයක් මගින්.

එම රැස්වීම් මාලාවේ තුන්වැන්න අද (26) රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ පැවැත්වුන අතර එම ලිඛිත පණිවුඩය කියවන ලද්දේ මාධ්‍යවේදී මොහාන් සමරනායක විසිනි.

පක්ෂ හතරක්

හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේ දී අගමැති ධුර අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරනු ලැබීම මෙම රැස්වීම් මාලාවේ උත්සාහය වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇතුළත් මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය යන දේශපාලන පක්ෂ සහ සංවිධාන විසිනුයි ඒවා සංවිධානය කරනු ලබන්නේ.

අද රැලිය අමතා කතා කළ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ නායකත්වය යළි රටට ලබා දීම ස්ථිර බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කතා කරමින් අද රට අරාජික සහ අස්ථාවර තත්වයකට පත්ව ඇති බව කියා සිටියේය.

මහ බැංකු ගනුදෙනු

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රැලිය අමතමින් විදේශිකයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව භාර දෙමින් මෙතෙක් තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වී තිබුණ පොලී අනුපාතය ඉහල නැංවීමට වත්මන් පාලනය කටයුතු කළ බවයි සඳහන් කළේ.

‘දවස් සීය ගතවෙනකොට තමන්ගේ නෑදෑයන්ට වරප්‍රසාද දෙන්නට අද වෙනකොට පොලී අනුපාතය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවට පත් කොට තිබෙනවා. මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව තුලින් මේ රටට කෝටි ගණන් පාඩු කර තිබෙනවා’ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රත්නපුර රැලිය අමතා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ඇතුළු තවත් කීප දෙනෙක් අදහස් පළ කළහ.

තහනම නොතකා

වැස්ස සමඟ කාලගුණය අයහපත් වූ නමුත් විශාල ජනකයක් රත්නපුර රැලියට සහභාගී වූ බව බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු අජිත් ලාල් ශාන්ත උදය පවසයි.

හිටපු ජනාධිපතිවරයාට සහයෝගය පිණිස පැවැත්වෙන මෙම රැස්වීම් වලට සහභාගී වීමෙන් වළකින මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සාමාජිකත්වයට දැනුම් දී ඇතත් එම පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් එම තහනම නොතකා රත්නපුර රැලියට සහභාගී වූ බවත් අජිත් ලාල් ශාන්ත උදය වාර්තා කරයි.