ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාලකට ‘නයිට් ක්ලබ්’ යළි තහනම්

රාත්‍රි සමාජ ශාලාවලට ඇතුල්වීමට අවසර දෙන මෙන් හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

රාත්‍රි සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දීමේ චෝදනා යටතේ රිමාන්ඩ් සිර භාරයට පත් කරනු ලැබ සිටි මාලක සිල්වාට අධිකරණය ඇප නියම කිරීමේදී රාත්‍රි සමාජ ශාලාවලට ඇතුල් වීම තහනම් කෙරෙන කොන්දේසියක් පනවා ඇත.

එම තීන්දුව දුන් මහේස්ත්‍රාත්වරයා මාලක සිල්වාට මහජනයා ප්‍රසිද්ධියේ ගැවසෙන ස්ථානවල කලහකාරී අයුරින් හැසිරීම තහනම් කෙරෙන තවත් කොන්දේසියක් ද ප්‍රකාශයට පත් කළේය.

එම ඇප කොන්දේසි මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් ඒවා ඉවත් කරන ලෙසයි මාලක සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

දෙපාර්ශවයේම ආරක්ෂාව

එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය දෙවන ඇප කොන්දේසිය ඉවත් කළ නමුත් රාත්‍රි සමාජ ශාලාවලට ඇතුල් වීමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

විත්තිකරු ගේ සහ සමාජයේ ආරක්ෂාව සලකමින් අධිකරණය එම කොන්දේසිය පනවා ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එවැනි කොන්දේසි පැනවීමට අධිකරණයට බලයක් පවතින බවත් කියා සිටියේය.

එම අධිකරණ තීන්දුව පිළිබඳව තමන් සතුටු වන බවයි සැකකාර මාලක සිල්වා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

‘එම තීරණය ගැන මම සතුටු වෙනවා. නයිට් ක්ලබ් ගියාම අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලෙනවා. අධිකරණය ගැන මම කතා කරන්න කැමති නැහැ. මට ආයෙත් සිර ගෙවල් ඇතුළට යන්න බැහැ’ මාලක සිල්වා කියා සිටියේය.