ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාව උදයංග වීරතුංග සොයා ගැනීමේ උත්සාහයක

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සම්බන්ධයෙන් කලින් ආණ්ඩුවටත් යුක්රේන් බලධාරීන්ගෙන් පැමිණිලි කිරීමක් සිදු කර ඇතත් එවකට විදේශ අමාත්‍යංශයේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවක්‌ පෙනී යන්නේ යයි විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති අජිත් සී පෙරේරා හෙළිදරව් කරයි.

රුසියාවේ හිටපු තානාපතිවරයා විසින් යුක්රේන් කැරලිකරුවන්ට සපයා ඇති අවි ආයුධ පිළිබඳව තොරතුරු සහිත දැනුම්දීමක් යුක්රේන් රජය තානාපති නිල පණිවුඩයක් මගින් ශ්‍රී ලංකාවට මෙයින් සති දෙකකට පෙර දැනුම් දුන් බව කියා සිටි විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමතිවරයා කලින් ආණ්ඩුවටත් එවැනි දැනුම් දීමක් සිදු කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.

‘මේ වගේම දැනුම් දීමක් පසුගිය රජයේ විදේශ ඇමතිවරයාටත් දැනුම් දී ඇති බව මේ පිළිබඳව විපරම් කරන විට අපට පෙනී ගියා. ඒ අවස්ථාවේ මතුපිටින් පමණක් හුදු සොයා බැලීමක් පමණක් කරලා එතැනින් එහාට කිසිදු වැදගත් පරීක්ෂණයක් සිදු නොකර නතර කරලා තිබුනා. මොකද? උදයංග වීරතුංග කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලඟම ඥාතියෙක්’ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා පවසයි.

අපූරු පුද්ගලයෙක්

එදා පරීක්ෂණ නතර කරනු ලැබීමට හේතුව එය විය හැකි බව නියෝජ්‍ය විදේශ ඇමතිවරයාගේ අදහසයි.

Image copyright www.defence.lk
Image caption උදයංග වීරතුංග ආගමික ආශීර්වාදය ලබා ගනිමින්.

උදයංග වීරතුංග යනු එකම රටක අවුරුදු අටකට අධික කාලයක් තානාපති පදවිය දැරූ අපූරු චරිතයක් වන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

යුක්රේන් ආණ්ඩුව උදයංග වීරතුංග තානාපතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කලින් ආණ්ඩුව සමයේදීත් දැනුම් දීමක් කරනු ලැබ තිබියදීත් එය නොතකා හැර ඇති හෙයින් එවකට ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා සහ අදාළ නිලධාරීන් ‘වගකීම් පැහැර හැර ඇති බව’ තමා පිලි ගන්නා බවයි නියෝජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

අදාළ පරීක්ෂණයක දී ඒ ගැනත් අවධානය යොමු විය හැකි බවයි විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති අජිත් සී පෙරේරා පවසන්නේ