විදේශික ශ්‍රමිකයන්ට කෙරෙන අතවර වලට එරෙහි උද්ඝෝෂණයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකික කතුන් දෙදෙනෙකු සෞදියේ දී මරුට

සෞදි අරාබියේ දී මරණයට පත් වී සිටින කාන්තාවන් දෙදෙනා ගේ සිරුරු ලංකාවට ගෙන්වා ගැනීමට සහ යුදමය වාතාවරණය තුළ යේමනයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශක මංගල රන්දෙනිය ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ සෞදි අරාබියේ ජෙඩා ප්‍රදේශයේ දී ශ්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බවට පළවන වාර්තා පිලිබඳව සංදේශයේ එස් එල් සෙනෙහෙධීර සමග දුරකථනය ඔස්සේ අදහස් දක්වමින්.

දැනට ලැබෙන තොරතුරු අනුව මෙම කාන්තාවන් දෙදෙනා ම මියගොස් ඇත්තේ හදිසි අනතුරු වලින් බවයි ඔහු පවසන්නේ.

අපරාධයක්ද ?

“එකක්, මහාමාර්ගයක සේවා ස්ථානයෙන් පැනල රැකවරණ සොයා යමින් සිටි කාන්තාවක් රිය අනතුරකට මුහුණ දීමෙන් මරණයට පත්වෙනව. අනෙක් කාන්තාව තමා සේවය කරපු නිවසේම ගින්නකට හසුවීමෙන් මරණයට පත්වුණු බව තමයි වාර්තා වෙන්නෙ. නමුත් මේ ගින්නට හසුවී සිදුවුණු මරණය අපරාධයක් ද එහෙමත් නැතිනම් හදිසි අනතුරක් ද එහෙමත් නැතිනම් සියදිවි නසා ගැනීමක් ද කියන කාරණය පිලිබඳ දැනට පරීක්ෂණ පවත්වමින් තමයි සෞදි බලධාරීන් විසින් කටයුතු කරන්නෙ” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

හේතුව අපැහැදිලියි

දිනපතා මාධ්‍ය මගින් වාර්තා වන ආකාරයට මැදපෙරදිග යන කාන්තාවන් වද හිංසා වලට ලක්වීමේ හෝ මරණයට පත්වීමේ හේතුව කුමක් විය හැකි දැයි සංදේශය විමසූ විට ප්‍රකාශකවරයා කියා සිටියේ අපැහැදිලි කරුණු දෙකක් මේ සඳහා හේතුව විය හැකි බවයි.

“සේවා ස්ථානයක හාම්පුතෙක් කොයි තරම් දුරට හිංසනය පාවිච්චි කරන්නෙ නැද්ද තමන්ගේ ප්‍රශ්න විසඳගන්න කියන කාරණයත්, දෙවෙනි කාරණය ලෙස රැකියා සඳහා පිටත්වෙලා සිටින මේ ශ්‍රී ලංකික කාන්තා ශ්‍රමිකයින් කොයි තරම් දුරට සේවා ස්ථාන වල අවශ්‍යතාවන් වලට ගැළපෙන පරිදි තමන්ගේ කුසලතා සංවර්ධනය කරගෙන තියනවද, මේ ප්‍රතිචාර දැක්වීම කොයි තරම් වෘත්තීය මට්ටමෙන් පවත්වාගෙන යනවද, සේවා යෝජකයාගේ අවශ්‍යතා ඉටුකිරීම කොයිතරම් දුරට ගැටුම්කාරී තත්වයකින් තොරව සිදුවෙනවද කියන එක තමයි වැදගත් කාරණය” යනුවෙන් ඔහු පැවසීය.

පුහුණුව සාර්ථකයි

ශ්‍රමිකයන් රටින් පිටවීමට පෙර රජය මගින් පුහුණුවක් ලබා දෙනවා නොවේදැයි සංදේශය විමසු විට ඔහු කියා සිටියේ පවතින තත්වයන් පිලිබඳ ගැඹුරින් අධ්‍යයනය කර සැලසුම් කළ එම පුහුණුව හේතුවෙන් එවකට 7.5% ක් ලෙස තිබුණු ගැටළු අද වන විට 2.5% දක්වා අඩුකරගෙන ඇති බවයි.

මියගිය කාන්තාවන්ගේ සිරුරු ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු රජය මගින් සිදු කරන අතර ඒ සඳහා යන වියදම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දරණ බවයි මංගල රන්දෙනිය ප්‍රකාශ කළේ.

ඔහු පවසන ආකාරයට මිය ගිය අය වෙනුවෙන් වන්දි ලබා දීම රක්ෂණය මගින් හෝ සේවක සුබසාධන අරමුදල මගින් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් සිදුවන නමුත් මරණයට හේතුව සියදිවි නසා ගැනීමක් හෝ සේවකයාගේ අත්වැරැද්දක් වන්නේනම් සේවා ස්ථානයේ සේවා දායකයා ගේ පාර්ශවයෙන් වන්දි ගෙවීමක් සිදුවන්නේ නැත.

සියදිවි නසාගැනීමකදී එහි නීත්‍යනුකූල සත්‍යතාවය පිලිබඳ ගැටලුවක් පැන නොනගින්නේ එරට රජය වෛද්‍ය වාර්තා අනුව සාධාරණ තීරණ ගන්නා නිසා බවයි ඔහු ප්‍රකාශ කළේ.

යුදමය තත්වයක්

යේමනයේ පවතින යුදමය වාතාවරණයට සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ඉතා ඉක්මනින් ආරක්ෂක ස්ථාන කරා ගෙනගොස් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවයි ඔහු සංවාදය නිමා කරමින් සඳහන් කළේ.