උතුරේ මහ ඇමතිවරයාට 'ආරාධනා නැහැ'

උතුරේ තෙදින සංචාරයේදී උතුරු පළාත් මහ ඇමතිවරයා හමු නොවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉරිදා(29) දහවල් කිළිනොච්චියට පැමිණ තමා හමු වන මෙන් ආරාධනා කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පවසති.

මෙසේ ආරාධනා ලැබ තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෙයිකලනාදන්ට සහ එස් ශ්‍රීධරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට වන අතර පෞද්ගලික හේතුවක් මත ශ්‍රීධරන් මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා හමුවීමට කිළිනොච්චියට ගොස් නොතිබුණි.

අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට උතුරේ මහ ඇමතිවරයා සහභාගි නොවූයේ මන්දැයි උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥාණම්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඒ සඳහා ආරාධනාවක් නොතිබූ බවයි.

උතුරු පළාත් සභාවත් රජයත් අතර කිසිදු අර්බුදයක් හෝ ප්‍රශ්නයක් නැතිව තිබියදී මහ ඇමතිවරයාට ආරාධනා කිරීමට නිලධාරීන් පියවර නොගත්තේ මන්දැයි යන්න තමන් නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

එය විශාල ප්‍රශ්නයක් ලෙස නොසලකන බව කී සභාපතිවරයා සාමාන්‍ය සිරිත අගමැතිවරයෙකු පැමිණෙන විට මහ ඇමතිවරයාට ආරාධනා කිරීම වුවත් මේ අවස්ථාවේදී එවැන්නක් සිදු නොවුයේ මන්ද යන්නත් ප්‍රශ්නයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

'යුද්ධය හේතුවෙන්'

කිලිනොච්චියේදී අග්‍රාමාත්‍යවරයා හමු වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පවසුවේ රජයේ දින 100 ට ඇතුළත් විය යුතු කරුණු කිහිපයක් තමන් අග්‍රාමාත්‍යවරයාට දන්වා සිටි බවයි.

යුද්ධය හේතුවෙන් විපතට පත් වැන්දඹු කාන්තාවන්, ආබාධිත වූ පුද්ගලයන් සහ එල්ටීටීඊයේ සිට පුනරුත්ථාපනය වූ පිරිසටද සහන සැලසිය යුතු බව එම ඉල්ලීම් අතර වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඊට අමතරව උතුරේ ඉඩම් ප්‍රශ්නය, දකුණේ ධීවරයින් දේශපාලන සහයෝගය මත උතුරු මුහුදට පැමිණ උතුරේ ධීවරයින්ට කරනු ලබන බලපෑම් සම්බන්ධයෙන්ද උතුරේ අධ්‍යාපන හා සෞඛ්‍ය ගැටලු පිළිබඳවද තමන් ඉතා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ බවත් සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමා ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් අප්‍රේල් 7 වනදා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර