ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නොමිලේ 'වයි-ෆයි' අනාගත ආයෝජනයක් - අගමැති

රට පුරා නොමිලේ අන්තර්ජාල 'වයි-ෆයි' කලාප ඇතිකිරීමේ අරමුණ තරුණ තරුණියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවා දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් බිහි කිරීම වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

නව රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි නොමිලේ අන්තර්ජාල 'වයි-ෆයි' කලාප අරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අමතමිනුයි අගමැතිවරයා එම ප්‍රකාශය කළේ.

අද (30) කොළඹ කොටුව දුම්රිය පොළ ඇතුළුව දිවයින පුරා තවත් ස්ථාන විසි හයක නොමිලේ අන්තර්ජාල 'වයි-ෆයි' කලාප අරම්භ කෙරුන අතර අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය පැවැත්වුනේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටයි.

එම සමාරම්භක උත්සවය අමතා කතා කළ අගමැතිවරයා 'රටේ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් එම 'වයි-ෆයි' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරණ බවයි කියා සිටියේ.

වයි-ෆයි වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් කෝටි සීයක මුදලක් වැයවන බව පැවසූ අගමැතිවරයා එහෙත් එය අනාගතය සඳහා ආයෝජනයක් වන බවයි සදහන් කළේ.

අගෝස්තු මාසය වන විට දිවයින පුරා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි කලාප 1,000ක් පිහිටුවීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය කටයුතු යොදා ඇති බවයි,එම උත්සවයේදී නිවේදනය කෙරුණේ.

ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සියලුම විශ්ව විද්‍යාල, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පල, ප්‍රසිද්ධ උද්‍යාන, රෝහල් හා රජයේ ආයතන ආදී මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ස්ථාන වලදී මෙම 'වයි-ෆයි' කලාප ඇති කරන බවයි රජය පවසන්නේ.

ඕනෑම පුද්ගලයෙකුට තම ජාතික හැදුනුම්පත් අංකය යොදාගෙන මෙම සේවාව ලබාගත හැකි බව බිබිසියට අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් ප්‍රකාශ කළාය.

පුළුල් සැලැස්මක්

ඉදිරි සති කිහිපයක තවත් ස්ථාන 250ක් 'වයි-ෆයි' පහසුකම් සැලසීමට කටයුතු සුදානම් වන බවත් ඇය කියා සිටියාය.

එක් පුද්ගලයෙකු සඳහා මසකට මෙගා බයිට් (MB) 100ක ප්‍රමාණායේ අන්තර්ජාල සබඳතාවක් නොමිලේ දැනට ලබාගත හැකි බව පැවසූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනිය එය ඉදිර්යේදී තවත් ඉහළ දැමීමට බලාපොත්තු වන බවයි සදහන් කළේ.

එක් පුද්ගලයෙකු සඳහා මසකට ලබාදෙන මෙගා බයිට් 100ක ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට ඇතැම් පාර්ශ්ව මතු කරන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසන්නේ, මෙම ව්‍යාපෘතියේ අරමුණ ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණක මෙම ස්ථානවලට ගෙන අන්තර්ජාලයෙන් වීඩියෝ බාගත කිරීම නොවන බවයි.

ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන ජංගම දුරකතනවලින් 40-50% කගේ මාසික දත්ත භාවිතාව මෙගා බයිට් 100කට අඩු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.