‘ගොඩ වී’ ජාන සංයුතිය හෙළිදරව් වෙයි

Image copyright AFP

ශ්‍රී ලංකාවට ආවේණික වූ වී වර්ගයක් වන ‘ගොඩ වී’ වල ජාන සංයුතිය හෙළිදරව් කර ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් පිරිසක් සමත් වෙති.

මෙවැනි සොයා ගැනීමක් ශ්‍රී ලංකාව තුළ සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙමගින් ලංකාවට ආවේණික ගොඩ වී අනාගතයට සුරක්ෂිත වන බවයි විශේෂඥයන් පවසන්නේ.

ජෝන් කීල්ස් පර්යේෂණ ආයතනය සමඟ එක්ව සිදු කළ මෙම පර්යේෂණයේ තොරතුරු බීබීසීයට පැහැදිලි කළ පර්යේෂණ කණ්ඩායමේ සාමාජික කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මානව ප්‍රවේණි විද්‍යා අංශයේ මහාචාර්ය වජිර දිසානායක කියා සිටියේ ඉදිරියේදී වඩා හොඳ මට්ටමේ වී වර්ග නිෂ්පාදනය කිරීම සඳහා ද මෙම සොයා ගැනීම උපකාරී වන බවයි.

විවිධ කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් පැවතීම සහ ලවණ ගතිය ඇති පසේ පවා වගා කළ හැකි වීමත් නිසා විශේෂයෙන් මෙම පර්යේෂණයට ‘ගොඩ වී’ යොදා ගත් බවයි ඔහු කියා සිටියේ.

‘ගොඩ වී’ ලවණ වලට ප්‍රතිරෝධයක් දක්වන ශාකයකි.

මෙවැනි සොයා ගැනීම් නිසා ලංකාවට ආවේණික ශාක වල අයිතිය තහවුරු කර ගැනීම සහ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇති බව විද්‍යාඥයෝ පවසති.