ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපේ වැරදි හදා ගන්න ඕනේ - මහින්ද

ජනාධිපතිවරණ පරාජයට තුඩු දුන් වැරදි නිවැරදි කර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණයේ පරාජයට හේතු වශයෙන් නොයෙක් අය දක්වන අදහස් සැලකිල්ලට ගනිමින් එම වැරදි නිවැරදි කර ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඔහුගේ සොයුරු බැසිල් රාජපක්‍ෂ සිය පරාජයට හේතුවක් බවට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් බීබීසීය කළ විමසුමකට පිළිතුරු දෙමින්.

‘සාමාන්‍යයෙන් මත තියෙනවා අපි ඔක්කොම ඒ මත වලට ගරු කරලා, අපේ වැරදි හදා ගන්න ඕනේ’ යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකට සහභාගී වන අතරතුරයි.

"බැසිල් ලංකාවට එවි, එකේ ප්‍රශ්නයක් නැහැ, එයා කියලා තියෙනවනේ එනවා කියලා" යැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ දූෂණ චෝදනාවකට ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණේදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින්.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කිරීම පිළිබඳව විමසීමේ දී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ සිය නීතීඥයන් එහිදී ඉතා දක්ෂ ලෙස කටයුතු කර ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණයෙන් පෙන්නුම් කරන්නේ අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව නොවේදැයි බීබීසීය විමසූ විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එක්තරා දුරකට අධිකරණ ස්වාධීනත්වය ඉහළ මට්ටමකට තිබෙන බවයි.

"බොහොම පැහැදිලිව ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිවරයෙකු ජනාධිපති වශයෙන්කරන්නා වූ ක්‍රියාවලට අධිකරණයට යන්න බැහැ කියලා" හිටපු ජනාධිපතිවරයා පැවසීය.