ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ICC වැරදි වැටහීම නැති කරනවා' - ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ හැකියාවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ අඟහරුවාදා, ඊමේල් පණිවිඩයකින් දැනුම් දුන්නේ ඡන්දයෙන් පත් කළ නිලධාරි මණ්ඩලය අක්‍රමිකතා සිදු කළ බවට කිසිදු සනාථ වීමක් නොමැතිව තිබිය දී රජය හිතුමතයේ අන්තර් වාර කමිටුවක් පත් කිරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හේතු විය හැකි බවයි.

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඊට ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට කරුණු පැහැදිළි කිරීමක් කරන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේය.

ගැටුමක් නැහැ

අමාත්‍යවරයා ඉහත කී අදහස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරි මණ්ඩලය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

'අපි ICC එකත් එක්ක ගැටුමකට යන්නේ නැහැ.සියළු ගැටළු සාකච්ඡා මාර්ගයෙන් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.අපි දැනටමත් ICC විධායක අධ්‍යක්ෂක ඩේවිඩ් රිචර්ඩ්සන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනව' ක්‍රීඩා ඇමති නවින් දිසානායක පවසයි.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කළ හැකි බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා එය ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට පැහැදිලි කර අවශ්‍ය නම් ශ්‍රී ලංකා නීතිය සංශෝධනය කිරීමට ද තමන් එකඟ බවයිපවසන්නේ.

'මම කළේ පනත ක්‍රියාත්මක කිරීම.මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගැට‍ළුවක් තියෙනවා නම් සාකච්ඡා කරන්න අපි ලෑස්තියි'ඇමතිවරයා පවසයි.

ක්‍රිකට් 'ගෝඩ් ෆාදර්ලා'

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ 'ගෝඩ් ෆාදර්' වරුන් නොමැති බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් පරිපාලනයේ සිදු කළ වෙනස ගැන ක්‍රීඩා ලෝලීන් ඉතා සතුටට පත්ව ඇති බවයි කියා සිටින්නේ.

කුමාර් සංගක්කාරට හා මහේල ජයවර්ධනට පසුගිය ක්‍රිකට් පරිපාලනයත් සමග නොයෙකුත් ප්‍රශ්න තිබුණු බව පැවසූ අමාත්‍යවරයා කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක් ද කළේ හැකි නම් තවත් වසරක් වන තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ලෙස කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක් ද කරයි.