'ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වයෙන් ඉවත්වන්නට සිදුවේවි' - රිචර්ඩ්සන්

Image copyright AFP
Image caption රජය හිතුමතයේ අන්තර්වාර කමිටුවක් පත්කිරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයේ ඉවත් කිරීමට හේතු විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ

තවමත් නිල වශයෙන් දැනුම් දී නොතිබුණ ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් ඉවත්කිරීමට ආසන්න ව පවතින බව වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය සඳහා දේශපාලනික වශයෙන් පත් කරන ලද නව අන්තර්වාර කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය භාර ගැනීමට නියමිතව තිබෙන අතරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කටයුතු කිරීමට අන්තර්වාර කමිටුවක් රජය මගින් පත්කළ බව අඟහරුවාදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග ඒ පිලිබඳ අදහස් දැක් වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විධායක අධ්‍යක්ෂක ඩේවිඩ් රිචර්ඩ්සන් ඊ -මේල් පණිවුඩයක් මගින් අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වාධීනත්වයට දේශපාලනඥයන් ඇඟිලි ගසන්නේ නම් එහි විපාක විඳීමට සිදුවනු ඇති බවටයි.

“Apparent appointment of interim committee to run Sri Lanka Cricket” නමැති සිරස්තලය යොදා ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ විධායක සාමාජිකයන් වෙත එවා ඇති එම පණිවුඩයේ ඩේවිඩ් රිචර්ඩ්සන් පැහැදිලිව සඳහන් කර ඇත්තේ ඡන්දයෙන් පත්කළ නිලධාරී මණ්ඩලය අක්‍රමිකතා සිදු කළ බවට කිසිදු සනාථවීමක් නොමැතිව තිබිය දී රජය හිතුමතයේ අන්තර්වාර කමිටුවක් පත්කිරීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයේ ඉවත් කිරීමට හේතු විය හැකි බවයි.

මේ පිළිබඳව දුරකථනය ඔස්සේ තොරතුරු දැනගැනීමට ICC අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කර ගැනීමට සංදේශය ගත් උත්සාහයයෙදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශයෙකු පැවසුවේ ඒ පිළිබඳව තවම කිසිවක් පැවසිය නොහැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර