ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'බස් ගත්තේ කවුදැයි අපි දන්නේ නැහැ' - එජානිස

පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශාල වශයෙන් යොදා ගෙන ඇති බවත් ඒ සඳහා ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 1425 ක් වන බවත් අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

තවමත් එම මුදල ගෙවා නැති බැවින් අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කොට නීති මගින් කටයුතු කරන බවයි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ.

'දැනුම් දුන්නා'

මෙම මුදල ගෙවා දමන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත දැනුම් දී තිබුණ ද තවම කිසිදු ප්‍රතිචාරයක් නැති බවයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.

“මේ ආකාරයෙන් රටේ පොදු සම්පත් යොදා ගෙන දුෂිත විදියට පහුගිය කාලෙ රට පාලනය කරලා තියනව. දැනටමත් අපේ ඒ ආයතන වලට මම දැනුවත් කරලා තියනවා ඒ අයට දන්නන්න කියල, දැනටමත් දන්නල තියනව, නමුත් ඒ සම්බන්ධව කිසි ප්‍රතිචාරයක් නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

'බස් ගත්තේ මැතිවරණ කමිටුව'

අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ගෙන් මේ පිළිබඳව විමසු අවස්ථාවේ කියා සිටියේ එම බස්රථ රැගෙන ඇත්තේ එවකට පැවති සන්ධාන මැතිවරණ කමිටුව විසින් බැවින් ඒ පිලිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවයි.

“කොච්චරක් ගෙවන්න තියනවද කියල අපි දන්නෙ නැහැ. සමහර කොටසක් ගෙවල තියන බව ඒ ගොල්ලො පිළිඅරන් තියනව. ඒක ගනුදෙනුවක්. ගනු දෙනු අදාළ පුද්ගලයෝ එක්ක බේරුම් කරන්න තියෙන්නෙ. බස්රථ තියෙන්නෙ ගන්න, කුලී ගෙවන්න තියෙන්නෙ ගන්න අයට” යනුවෙන් පැවසූ මහලේකම්වරයා පක්ෂයක් වශයෙන් එයට සම්බන්ධවීමක් සිදුවී නොමැති හෙයින් අදාළ පුද්ගලයන් විසින් එය විසඳා ගත යුතු බවයි වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම ගනුදෙනුව පිලිබඳ හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළ නොහැකිදැයි එම මාධ්‍ය හමුවට එක්ව සිටි සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගෙන් විමසු විට කියා සිටියේ එසේ කළ නොහැකි බවයි.

'මහින්දගෙන් අහන්න බැහැ'

“එහෙම අහන්න බැහැනෙ. ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් දන්නෙ නැහැනේ. සංවිධාන කටයුතු වල ඒ ඒ අංශ භාර දීල විශාල මැතිවරණ ව්‍යාපාරයක දී කොටස් ගණනාවක් ක්‍රියාත්මක වෙනව. ඒ පිළිබඳව අපේක්ෂකයා දන්නේ නැහැ. එහෙම අහන එක අසාධාරණයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විදියට සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා විසින් මෙම වගකීම භාර ගතයුතු නොවේදැයි විමසූ විට ඔහු කියා සිටියේ තමා ඇණවුමක් කර නැති හෙයින් එවැනි වගකීමක් ගත නොහැකි බවයි.