ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මුළු පාර්ලිමෙන්තුවටම මන්ත්‍රීවරියන් දහතුනයි' - නිමල්කා

ශ්‍රී ලංකාවේ ජනගහන වාර්තා අනුව සමස්ත ජනගහනයෙන් 53% ක් කාන්තාවන් වුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මන්ත්‍රීවරියන් දහතුන් දෙනකුට සීමා වී අති බව කාන්තා ක්රියාධාරිනියක් පෙන්වා දෙයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 225න් කාන්තාවන් නියෝජනය කරන්නේ 13 දෙනකු පමණක් බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙය පාර්ලිමේන්තුව තුල පමණක් පවතින ප්‍රශ්නයක් නොව පළාත් පාලන ආයතන වන ප්‍රාදේශීය සභා, පළාත් සභා වල පවා පවතින තත්වය ද එය බවයි.

දේශපාලන පුරුෂාධිපත්‍යය

කාන්තාවන්ට දේශපාලනයේ ඉඩක් නොමැති වීමට බල පා ඇති හේතු මොනවාදැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද ක්‍රමය හඳුන්වාදීමේ දී පිරිමි සහ කාන්තා දෙපාර්ශවයට සම අයිතිය ලබා දුන්නත් එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම අයිතීන් තහවුරු කර තිබුනත් දේශපාලන ක්ෂේත්‍රය තුල කාන්තාවන්ට නියෝජනය ලබා ගැනීමට අපහසු වී තිබෙන්නේ දේශපාලන පක්ෂ තුල පවතින පුරුෂාධිපත්‍යය සහ දේශපාලන ක්‍රියාකාරිත්වය තුල පවතින පුරුෂ කේන්ද්‍රීය ස්වභාවය නිසා බවයි.

2012 වසරේ මැතිවරණ සංශෝධන පනත මගින් කාන්තා සහ තරුණ නියෝජනය 25% ක් විය යුතු බවට නිර්දේශයක් කර තිබියදී එය වර්තමානයේ ක්‍රියාත්මක නොවන්නේදැයි බීබීසිය නීතිඥ නිමල්කා ප්‍රනාන්දුගෙන් ගෙන් විමසීමක් කළ විට ඇය කියා සිටියේ තරුණ නියෝජනය වෙනුවෙන් නිර්දේශිත කෝටාව ක්‍රියාත්මක වුවත් 2012 වසරේ සංශෝධනය මගින් ඉදිරිපත් කෙරුණ නිර්දේශයන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රාමුවක් නොමැති බවයි.

මුල්බැස ගත් මත

දේශපාලන පක්ෂ නිරන්තරයෙන්ම පුරුෂ පක්ෂය සිය අපේක්ෂකයන් ලෙස තෝරා ගන්නේ ශ්‍රී ලංකාව තුල පවතින දුෂ්කර දේශපාලන පිටියේ කාර්ය භාරය කාන්තාවන්ට ඉටු කළ නොහැකි බවක් කියවෙන පූර්ව නිගමනය මතදැයි නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, 'දේශපාලන සංස්කෘතිය තුල පවතින විශ්වාසයන් වන කාන්තාවන්ට දේශපාලන දැනුමක් නැත, කාන්තාවන් දේශපාලනයේ සිටිය යුත්තේ පුරුෂයන්ට උපකාර කරන පිරිසක් ලෙසය' යන මුල් බැසගත් මත ඊට බලපාන බවයි.