එක්සත් සේනාරත්නට එරෙහි පැමිණිල්ල මහේස්ත්‍රාත් අධිකරණයට

Image caption ගාමිණී රණසිංහ යුවළ

පැහැර ගෙන ගොස් රඳවා ගෙන සිටින තම දියණිය අධිකරණයට ඉදිරිපත් කරන මෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ගාමිණි රණසිංහ නමැත්තකු විසින් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය අදාළ පෙත්සම වැඩිදුර විභාගය සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරනු ලැබුණි.

පෙත්සම්කාර ගාමිණි රණසිංහ පවසන්නේ සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්නගේ පුත්‍රයකු වන එක්සත් සේනාරත්න විසින් තම දියණිය පැහැර ගනු ලැබ රඳවා තබා ගෙන සිටින බවයි.

දැරියගේ පියා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම අද විභාගයට කැඳ වූ අවස්ථාවේ දැරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිවේදියා ප්‍රකාශ කළේ තම සේවාදායිකාව සිය දෙමව්පියන් වෙත යාමට අකමැත්ත පළ කර ඇති බවයි.

ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට කට උත්තරයක් ලබා දී ඇති බවත් නීතිවේදියා ප්‍රකාශ කළේය.

එහෙත් දැරියගේ පියා වන පෙත්සම්කාර ගාමිණි රණසිංහ පවසන්නේ එම ප්‍රකාශය සමග තමන් එකඟ නොවන බවයි.

අදාළ පෙත්සම අද කැඳ වූ අවස්ථාවේ ප්‍රශ්නයක් මතු කළ විනිසුරු ලලිත් ජයසූරිය 2014 වසරේ සිදු වූ පැහැර ගෙන යාමක් පිළිබදව පැමිණිලි කිරීමට මෙතරම් කාලයක් ප්‍රමාද වීමට හේතු විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරණයක් පැවති හෙයින් පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බවයි.

දැඩි සැකයක්

සිය දරුවකු පැහැර ගනු ලැබුණ අවස්ථාවක ක්ෂණිකව පැමිණිල්ලක් කිරීම සාමාන්‍ය ක්‍රියාදාමය වන බව පෙන්වා දුන් රාජිත සේනාරත්න පාර්ශවයේ නීතිවේදීන් පෙත්සම්කරුවන්ගේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු වෙන බවයි කියා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය එම පැමිණිල්ල පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළ අතර රාජිත සේනාරත්න පාර්ශ්වය නියෝජනය කළ නීතිවේදීහු ඊට එකඟ වූහ.

අනතුරුව පෙත්සම මීළඟ විභාගයට ගනු ලැබීම ජුනි මස 03 වනදාට නියම කළ අධිකරණය අදාළ කටයුතුවල ප්‍රගතිය එදින වාර්තාකරණ මෙන් නියෝගයක් ද කළේය.