ශ්‍රී ලන්කන් දූෂණ වාර්තාව අගමැති අතට

Image copyright AFP

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා ලබා ගැනීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව මගින් හෙළි කර ඇති බවට වාර්තා වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව, කමිටු සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසින් ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහට භාර දෙන ලදී.

රජයේ වෙනුවෙන් මෙම වාර්තාව බාර ගත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ප්‍රසිද්ධ කරන බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා ලබා ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා මෙන්ම පසුගිය රජයේ ශ්‍රී ලන්කන් ආයතනයේ ප්‍රධානින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය අයථා ලෙස පරිහරණය කළ ආකාරය ගැන ද කරුණු මෙම වාර්තාව මගින් හෙළි කර ඇතැයි බිබිසියට වාර්තා වෙයි.

'ගුවන් යානයක් අයිති නැති ගුවන් සේවයක්'

පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහයි.

මෙම වාර්තාව ගැන අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ පසුගිය කාලයේ සිදු වූ දූෂණ නිසා අද ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටට විශාල බරක් වී ඇති බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයිති එකම ගුවන් යානයක්වත් නැතැයි පැවසූ අගමැතිවරයා ගුවන් යානයක් වත් අයිති නැති ගුවන් සේවයක් ලෝකයේ කිසිම රටකවත් නැතැයි කියා සිටියේය.

සති 6ක් වැනි කාලයකින් මෙම වාර්තාව පිළියෙළ කර ලබා දීම පිළිබඳව ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ කමිටුවට සිය ප්‍රසාදය පළ කළේය.