දලයි ලාමා ශ්‍රී ලංකාවට ?

Image copyright Ajith P Perera

දලයි ලාමාට ශ්‍රී ලංකාවේ වන්දනාවක නිරත වීම සඳහා අවසර දෙන මෙන් ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් වුනොත් ඒ ගැන සලකා බැලිය හැකැයි විදේශ නියෝජ්‍ය ඇමති අජිත් පී.පෙරේරා පවසයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ එවැනි ඉල්ලීමක් තවමත් ලැබී නැති බවයි.

‘නිල දැනුම් දීමක් කෙරුනොත් රජයක් විධියට අදාළ සියලු කරුණු සලකා බලා සුදුසු තීරණයක් ගන්නවා. දැනට එම ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ - එවැනි ඉල්ලීමක් කරනු ලැබ නොමැති නිසා’ විදේශ නියෝජ්‍ය ඇමති අජිත් පී.පෙරේරා සඳහන් කළේය.

ඉන් පෙර රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේ, ‘ආණ්ඩුව දලයි ලාමාට වීසා නොදීමට’ ඉඩකඩ ඇති බවයි.

‘ආරාධනා කරන්න පුළුවන්. ඒත් ආණ්ඩුව දලයි ලාමාට වීසා නොදෙන්න ඉඩකඩ තියෙනව’ නම සඳහන් නොකළ එම නිලධාරියා ප්‍රකාශ කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'දලයි ලාමා ඉතාම වැදගත් චරිතයක් වන නමුත් චීනයත් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා වඩාත් වැදගත්' බවයි එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේ.

දලයි ලාමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන පිළිවෙත මේ අතර චීන විදේශ අමාත්‍යාංශය විසින් අගය කරනු ලැබ ඇත.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ‘හුආ චුන්යින්’ ප්‍රකාශ කළේ ‘චීනය සහ ශ්‍රී ලංකාව අතර හැම විටම යහපත් ද්විපාර්ශ්වීය සබඳතා තහවුරු වී ඇති’ බවයි.

වන්දනාකරුවා

නව දිල්ලි හමුවකදී දලයි ලාමාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති බානගල උපතිස්ස නාහිමියන් බීබීසියට අදහස් දක්වමින්, දලයි ලාමාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ ළඟදීම සාකච්ඡා කරන බවයි කියා සිටියේ.

Image copyright AFP

‘බෞද්ධ භික්ෂුවක් හැටියට අපි දලයි ලාමාට ආරාධනා කළා. ශ්‍රී ලංකාවට එතොත් උන්වහන්සේ පැමිණෙන්නේ රාජ්‍ය නායකයකු හැටියට නොවෙයි. සාමාන්‍ය වන්දනාකරුවකු හැටියටයි’ බානගල උපතිස්ස නාහිමියෝ පෙන්වා දෙති.

දලයි ලාමා දළදා මාලිගාව සහ ශ්‍රී මහාබෝධිය ඇතුළු අටමස්ථානය වන්දනා කිරීමේ දැඩි ආශාවකින් පසු වෙන බවයි, බානගල උපතිස්ස නාහිමියන් වැඩිදුරටත් පවසන්නේ.

ඉන්දියානු බලපෑමක්?

දලයි ලාමාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කරනු ලැබීම පිටුපස ඉන්දියාව සිටින්නේදැයි බීබීසිය විමසීමක් කළ විට බානගල උපතිස්ස නාහිමියන් කියා සිටියේ එවැනි කිසිදු බලපෑමක් නොමැති බවයි.

‘ඉන්දියාවේ බෞද්ධයන් සමඟ, විශේෂයෙන්ම ඉන්දියාවේ බෞද්ධ ප්‍රභූන් සමග ඒ ගැන කතා කරලා තියෙනවා. දලයි ලාමාගේ ශ්‍රී ලංකා වන්දනා ගමනක් ගැන’ බානගල නාහිමියෝ පවසති.

ඒ හැර වෙනත් කිසිදු බලවේගයක් සිය ආරාධනය පිටුපස නොමැති බවයි උන්වහන්සේ කියා සිටින්නේ.