ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහජනයාට කිව්වේ කැබිනට් ආණ්ඩුක්‍රමයක් ගැන - මහාචාර්ය නවරත්න බණ්ඩාර

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව පාර්ලිමේන්තුව ප්‍රමුඛ කැබිනට් ආණ්ඩුක්‍රමයක් කරා පරිවර්තනය වීමට නම් ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිවරයා විය යුතුව ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨාධිපති, දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පවසයි.

මහාචාර්යවරයා එම ප්‍රකාශය කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය නිම වීමත් සමඟ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය නිමාවේ අදහස් පළ කළ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් උපුටා දක්වන මාධ්‍ය වාර්තා මගින් කියැවුණේ, ‘ජනාධිපතිවරයා ජාතික සංකේතයක මට්ටමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් ඇතුළත් කරනු ලැබීම ගැට‍ළු සහගත තත්වයක් මතු කරන බව’ අග විනිසුරු ප්‍රකාශ කළ බවයි.

ජාතික සමගියේ සංකේතයක් ලෙස ජාතික කොඩිය කැබිනට් තීරණයක් මගින් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද පිළිගෙන තිබිය දී ඊට ජනාධිපතිවරයා ආදේශ කිරීම ගැටළු සහගත තත්වයක් මතු කරන බව අග විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

ජාතියේ සංකේතය

ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා හැටියට ජාතිය නියෝජනය කරන බව පිළිගැනීමට සිදු වෙන බවයි මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පෙන්වා දෙන්නේ.

‘මෙතන සංකේතාත්මක අර්ථය ජාතික කොඩිය වැනි දෙයක් නොවෙයි. මෙතන ජාතිය කියන්නේ ශ්‍රී ලංකා ජාතියයි. එය සියලු ජාතීන් නියෝජනය කරන තනතුරක් විය යුතුයි. මෙතන වචනයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වචනය ඉවත් කළ හැකියි’ මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යය වන්නේ අදාළ සංශෝධන තුනෙන් දෙකක විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් හෝ එසේත් නැත්නම් එවැනි ඡන්දයක් ද ඇතුළුව ජනමත විචාරණයකින් ද අනුමත කර ගන්නා ලෙස පාර්ලිමේන්තුවට දැනුම් දීම බවත් ඔහු පවසයි.

ආණ්ඩුවේ නායකයා

පසුගිය ජනාධිපතිවරණ සමයේ පටන් ප්‍රධාන සටන් පාඨය වී තිබුණේ ජනාධිපති විධායක ආණ්ඩුක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට වග කියන අගමැති ප්‍රමුඛ ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරනු ලැබීම යයි සඳහන් කළ මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර එවැනි ආණ්ඩුවක ප්‍රධානියා වන්නේ අගමැතිවරයා වන බවයි කියා සිටියේ.

ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා වශයෙන් සිටිමින් අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වීම එවැනි ආණ්ඩුක්‍රමයක ලක්ෂණය විය යුතු බවයි මහාචාර්යවරයා පවසන්නේ. මහජනතාවට කිව්වේත් එයයි. බලාපොරොත්තු වූ දෙය එයයි’ ඔහු වැඩිදුරටත් පවසයි.

ආණ්ඩුවේ විසඳුම

මෙම 19 සංශෝධනයේ යම් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය සමග ගැටෙන්නේ යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ජනමත විචාරණයකට යාමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් එවැනි වගන්ති ඉවත් කර සෙසු සංශෝධන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර ගැනීමට ආණ්ඩුවට සිදු වෙන බවත් මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි.

‘ආණ්ඩුවට ඇති විකල්පය ජනමත විචාරණයකට බඳුන් කළ යුතු යයි කියන වගන්ති ඉවත් කරනු ලැබීමයි’ මහාචාර්යවරයා පවසයි.

තවදුරටත් සිය විශ්ලේෂණය පෙරට ගෙන යමින් මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර කියා සිටින්නේ මෙම 19 සංශෝධනය සමස්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.

එය තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර ගැනීමට යන්නේ ඒ නිසාම බවත් ඔහු අවධාරණය කරයි.