ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විපක්ෂ නායක පදවිය හිමි අපටයි - සම්බන්ධන්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට සාධාරණ විසඳුමක් ලැබෙන්නේ නම් තමන්ට විපක්ෂ නායක පදවිය ලැබුනත් එම ගැට‍ළු ජාත්‍යන්තරයට ගෙන යාමේ උවමනාවක් නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ විපක්ෂ නායක පදවිය සම්බන්ධයෙන් මතු වී ඇති තත්වය පිළිබඳව බීබීසී සිංහල සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ ඇමතිකම් සහ නියෝජ්‍ය ඇමතිකම් ලබා ගැනීමත් සමඟ එය ආණ්ඩුවේ පාර්ශව කරුවකු බවට පත් වූ බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, ඊ ලඟට වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සහිත දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක පදවිය පැවරිය යුතුව ඇති බවයි පෙන්වා දුන්නේ.

‘අපි විපක්ෂ නායක පදවිය බලාපොරොත්තු වෙන්නේ, අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ඇමතිකම් භාර ගනිමින් ආණ්ඩුවට එකතු වී සිටීම නිසා. දැන් එම සන්ධානයත් ආණ්ඩුවේම කොටසක්’ දෙමළ ජාතික සන්ධානයේ නායකයා පවසයි.

සන්ධානය ආණ්ඩුවේ කොටසක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇමතිකම් ලබා ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායක පදවිය සම්බන්ධයෙන් කථානායකවරයා සමඟ පවත්වන ලද සාකච්ඡාවේ දී තමන් එම කාරණය පෙන්වා දුන් බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, වර්තමාන පාර්ලිමේන්තුවේ පක්ෂ බල සංයුතිය අනුව තම පක්ෂයට එම පදවිය ලැබිය යුතු බවයි කියා සිටින්නේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයත් වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වූ හෙයින් ඔවුනුත් ආණ්ඩුවේ කොටසක් නොවන්නේදැයි බීබීසිය විමසීමක් කළ විට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් කියා සිටියේ තම පක්ෂය ආණ්ඩුවේ ඇමතිකම් භාර ගෙන නොමැති බවයි.

‘අපි ආණ්ඩුවේ කොටසක් යයි කීම තේරුමක් නැති කතාවක්. මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට අපි උදව් කළත් අපි ඇමතිකම් භාර ගත්තේ නැහැ’ මන්ත්‍රීවරයා පවසයි.

අමිර්තලිංගම් අවධිය

1977 මහ මැතිවරණයෙන් අනතුරුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් විපක්ෂ නායක පදවියට පත්වීමෙන් අනතුරුව ඔහු එම පදවිය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු ජාත්‍යන්තරයට ගෙන යාමට උපයෝගී කර ගත් බවට චෝදනා පවතින බව සිහිපත් කළ විට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් කියා සිටියේ, සිය ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලැබෙන්නේ නම් ඒවා ජාත්‍යන්තරයට ගෙන යාමේ උවමනාවක් නොමැති බවයි.

‘මේ සඳහා කළ යුත්තේ අපේ ජනතාව භාර ගන්නා විසඳුමක් දීමයි. රට තුළ විසඳුමක් දෙනවා නම් අපට ප්‍රශ්නය පිටතට ගෙන යාමේ උවමනාවක් නැහැ. එවැනි විසඳුමක් ගෙනාවොත් මේ කතාව එතැනින් ඉවරයි’ දෙමළ ජාතික සන්ධානයේ නායකයා අවධාරණයෙන් කියා සිටියි.