ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බණ්ඩාරවෙල කාන්තාවෝ ලේකම් කාර්යාලය වට කරති

සිංහල අවුරුදු සමයේ මතු වී තිබෙන උග්‍ර ජල හිඟයට වහා පිළියම් ලබා දෙන ලෙස බල කරමින් කාන්තාවන් තුන්සියයකට අධික පිරිසක් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරති.

හිස් බාල්දි සහ කළ අතැතිව සිටි මෙම පිරිස පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය කාර්යාල භූමියට පොලිසිය කැඳවනු ලැබ තිබේ.

උමා ඔය ව්‍යාපෘතිය සඳහා උමං හැරීම නිසා ප්‍රදේශයේ ළිං සිඳී ගොස් ඇති බවයි ඒ පිළිබඳව පර්යේෂණ සිදු කළ බලධාරීන් සනාථ කර ඇත්තේ.

මේ වන විට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළිං 700 ක් සහ ජල මුලාශ්‍ර බොහොමයක් සිඳී ගොස් ඇති අතර එම ප්‍රදේශ වලට ස්ථිර ජල සැපයුමක් ලබා දෙන බවට රජය මීට පෙර පොරොන්දු වී තිබුණි.

මෙම විරෝධතාවට එක් වී සිටින කාන්තාවන් කිහිප දෙනෙකු පමණක් කාර්යාලය තුළට කැඳවා සාකච්ඡා කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයා එකඟ වූ අවස්ථාවේ කාන්තාවන් සියයකට අධික පිරිසක් කාර්යාලය තුලට කඩා වැදුණු බවයි ප්‍රාදේශීය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කියා සිටියේ.

පිරිස පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බැවින් කාන්තාවන් සමඟ සාකච්ඡා කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට කාර්යාල භූමියට පැමිණීමට සිදු වී ඇති අතර මෙහිදී කාන්තාවෝ ප්‍රදේශීය ලේකම්වරයාගෙන් තදින් ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.

නිහාල් ගුණරත්න ප්‍රාදේශීය ලේකම්වරයා බණ්ඩාරවෙල කොට්ඨාශයේ රාජකාරි සඳහා පත් වී ඇත්තේ මීට මාසයකට පමණ පෙරයි.

කෙසේ වෙතත් සීමිත ගැට‍ළු ප්‍රමාණයකට කඩිනම් පියවර ගැනීමටත් අනෙකුත් ගැට‍ළු සහ ඉල්ලීම් රජයට යොමු කිරීමටත් ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී පොරොන්දු වී තිබේ.