ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

19 සම්මත වීම වැළැක්වීම පිටුපස ජනපති - අනුර

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීම පිටු පස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිටින බවට සාධාරණ සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

ව්‍යවස්ථා සංශෝධනය සමමත කර ගැනීමට අවශ්‍ය කිසිදු ක්‍රියාකාරිත්වයක් ජනාධිපතිවරයාගෙන් දකින්නට නොලැබෙන බව පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම සංශෝධනය පරාජය කරන බවට නැගෙන හඩ පිටුපස සිටින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බවයි අද මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේ.

" හඩ චම්පිකගේ වුනාට අත මෛත්‍රිපාලගේ, ඒ අත ඔහුගේ නොවෙයි නම් මෛත්‍රිපාල ජනාධිපතිව්රයටම තමයි පුළුවන් ඒ අත ඔහුගේ නොවෙයි කියලා සහතික කරන්න" යනුවෙන් ඔහු පැවසීය.

19 වැනි සංශෝධනයට පක්ෂව ජනාධිපතිවරයා තවමත් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සංශෝධනය පිළිබඳව කරන ප්‍රකාශ වලින් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සාකච්චා කර තීරණයක් ගෙන නොමැති බව යැයි ද පැවසීය.

" ඇත්ත කැමැත්ත පෙන්වන්න නම් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කැදවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි, මේය සමමත කර ගැනීමට සක්‍රියව කටයුතුකළ යුතුයි, ඔහු නිහඩව හිදිමින්, කිසිදු ප්‍රකාශයක් නොකර මුනිවත රකිමින් හිටියොත් ඔහු කරන්නේ මෙය පාර්ලිමේන්තුවේ සම්මත වීම වැළැක්වීම සඳහා යටි උගුල් ඇටවීමක්" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසිකිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුව බව පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරුන් මෙන් දුන් එකගතා කඩා දමා "කුණු කුඩයට ඇද නොවැටෙන ලෙස" වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.