අස්ගිරි මහ නාහිමියන් වෙනුවෙන් ශෝක දිනයක්

අපවත් වී වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහානායක හිමියන් වෙනුවෙන් ලෝකය පුරා බෞද්ධ සංවිධානවල සහ නායකයන්ගේ උපහාරය පළ වෙන් ඇත.

බලවත් ලෙස රෝගාතුර වූ මහ නාහිමියන් සිංගපුර්හි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි අපවත් වුනේ.

පහළ දොළොස්පත්තුවේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත පන්නල සුමේධ නාහිමියන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී කියා සිටියේ අපවත් වී වදාළ මහ නාහිමියන් අස්ගිරි පාර්ශවයට මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික උන්නතිය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කළ බවයි.

‘අපවත් වී වදාළ මහානායක හාමුදුරුවන්ට රාජ්‍ය නායකයන් සමඟ කොතරම් කිට්ටු සබඳතා තිබුනත් ජාතික ආගමික ප්‍රශ්න වලදී උන්වහන්සේ ඒවා දෙවන තැනට ලා කටයුතු කෙරුවා. උදාහරණයක් විධියට කැසිනෝ සූදුවට එරෙහිව නැගී සිටි උන්වහන්සේ කියා සිටියේ එමගින් උපයන මුදල් වලින් රටට සෙතක් නොමැති බවයි’ පන්නල සුමේධ නාහිමියෝ සඳහන් කළහ.

කාර් රේස්වලට එරෙහිව

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ නිසා ලොවම පිළිගත් පූජනීය නගරයක් මෙන්ම ලෝක උරුමයක් වන මහනුවර නගරයෙහි මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට ද උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් විරුද්ධත්වය පළ කළ බවයි රාජකීය පණ්ඩිත පන්නල සුමේධ නාහිමියන් පෙන්වා දෙන්නේ.

භික්ෂු සංස්ථාවේ අනාගත පැවැත්ම වෙනුවෙන් කැප වූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් පැවිදි පාර්ශ්වයේ ගුරු ශිෂ්‍ය සබඳතා අන්‍යෝන්‍ය තේරුම් ගැනීමක් අනුව ශක්තිමත් පදනමක් කරා ගෙන ඒමට උපදෙස් දුන් බවත් සුමේධ හිමියෝ පවසති.

හත්සියවැනි සංවත්සරය

පසුගිය වසරේ අස්ගිරි පාර්ශවයට වසර හත්සීයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දියත් කෙරුණ වැඩ පිළිවෙලට උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් පුරෝගාමී වූ බවත් පණ්ඩිත පන්නල සුමේධ නාහිමියෝ සිහිපත් කරති.

එපමණක් නොව පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළුව ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය නංවා ලීමට මහා නාහිමියන් මැදිහත් වූ බවයි රාජකීය පණ්ඩිත පන්නල සුමේධ නාහිමියන් පෙන්වා දෙන්නේ.

විදේශ ධර්මදූත සේවාව අතින් ද අපවත් වී වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහානායක හිමියන් වාර්තාවක් තබා අති බවයි රාජකීය පණ්ඩිත පන්නල සුමේධ නාහිමියන් පවසන්නේ.

අපවත් වී වදාළ මහ නාහිමියන්ගේ ආදාහන උළෙල ලබන ඉරිදා (12) අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර