'විපක්ෂය කළේ පිටුපසින් සිට පිහියෙන් ඇනීමක්' - කිරිඇල්ල

රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට අවසර ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් කිරීම සම්බන්ධයෙන් ජනතාව විපක්ෂයෙන් ප්‍රශ්න කළ යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි

අමාත්‍යවරයා පැවසුවේ මෙම රෙගුලාසි සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කෙරුණා අවස්ථාවේ එය ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීමට විපක්ෂය එකගත්වය පළ කළ බවයි.

'නිමල් සිරිපාල විපක්ෂනායකතුමා කිව්වේ,එම මුදල් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ගෙවන වියදම් වන බව දන්නා නිසා ඒ සඳහා ජන්දයක් ඉල්ලන්නේ නැහැ කියලයි' මුදල් ඇමතිවරයා කියා සිටියි.

රුපියල් බිලියන 400ක අමතර භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට අවසර ලබා ගැනීම සඳහා රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 21කින් පරාජයට පත්විය.

එහෙත් එමගින් ආණ්ඩුවේ පැවැත්මට කිසිදු බාධාවක් නොවන බව පැවසූ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා පරාජයේ වුනේ පනතක් නොව රෙගුලාසියක් පමණක් බවයි පෙන්වා දුන්නේ.

අදාල් යෝජනා ජන්ද විමසීමකින් තොරව සම්මත කර දෙන බවට විපක්ෂය පැවසූ නිසා මුදල් අමාත්‍යවරයා වන තමා පාර්ලිමේන්තුව තුළ ඡන්දය විමසන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආණ්ඩුවේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටු රැස්වීමේ සිටි බවත් මුදල් ඇමතිවරයා පවසයි.

අරමුණ සහන සැපයීම

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා විපක්ෂය ගත් පියවර හැදින්වුයේ 'පිටිපසින් සිට සිට පිහියෙන් ඇනිමක්' හැටියටයි.

'අපි ඡන්දයක් ඉල්ලන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කියලා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කළා පාර්ලිමේන්තු සම්ප්‍රධායට විරුද්ධව' අමාත්‍ය කිරිඇල්ල පවසයි.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවා මෙයට විරුද්ධ නොවන බවට පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී තිබුන බවයි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටින්නේ.

සමෘද්ධිලාභීන්ට සහන සැලසීමට හා ගොවීන්ගේ වී මිල දී ගැනීම වැනි කටයතු සදහා මෙලෙස භාණ්ඩාගාර බිල්පත් වලින් මුදල් රැස්කිරීමට රජය තීරණය කර තිබු බවයි මුදල් ආමාත්‍ය රවී කරුණානායක පැවසුවේ.

පරාජය වූ යෝජනාව යළි පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියි.

මේ අතර ඉහත කී යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්වීම සම්බන්ධයෙන් අද කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන සියලු දේට අත එසවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බවයි.

භාණ්ඩාගාර බිල්පත් යෝජනාව සම්මත කර ගැනීමේ කිසිදු වුවමනාවක් එක්සත් ජාතික පක්ෂයට නොතිබූ බව සඳහන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා, ඒ සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය සමග සාකච්ඡාවක් සිදු නොවූ බවයි කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර