ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මම විපක්‍ෂ නායක වුණොත්...?

තමා විපක්‍ෂ නායක වුවහොත් ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් නැවත විපක්‍ෂයට ගැනීමට කටයුතු කරන බවත් එසේ නොපැමිණෙන අයට ඉදිරි මැතිවරණයේ දී ‘එජාපය සමඟ නතර විය හැකි’ බවත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පවසයි.

විරුද්ධ පක්ෂයේ සිටිය හැක්කේ ආණ්ඩුවේ තනතුරු ලබා නොගත් සහ ආණ්ඩුවේ නායකයන්ගේ ‘එහෙයියන්’ ලෙස තීරණ නොගන්නා අයට පමණක් බවයි හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.

‘සැබෑව තේරුම් නොගත්, යුඇන්පීය සමඟ හාද වීමට කලක සිට බලාපොරොත්තුවෙන් සිටි අයද එහා පැත්තේ ඇමතිකම් අරන් තියෙනවා... පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමෙන් යුඑන්පීයට හවුල් වෙන්නට ගිය අයට යුඑන්පීයත් එක්කම නතර වෙන්නට පුළුවන්.’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයා

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් දෙකඩ වී නැති බවයි මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පවසන්නේ. හඬ පටය අමුණා ඇත.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ ඇමතිකම් දැරිය හැකිද යන්න පිළිබඳව මතු වී ඇති දේශපාලනමය ගැටළුව නිසා තමා විපක්ෂ නායකයා ලෙස පත් කරන මෙන් යෝජනා වී ඇති බව ද ඔහු පැවසීය.

තමා විපක්ෂ නායක ධුරයට පත් වීමට උත්සාහ කරන්නේ හිටපු ජනාධිපතිවරයා යළි බලයට ගෙන ඒමේ යටි අරමුණ සහිතව නොවේදැයි බීබීසීය ප්‍රශ්න කළ විට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා දුන්නේ මෙවැනි පිළිතුරකි.

‘හිටපු ජනපති තුමා මේ රටේ අදත් සිටින ජනප්‍රියම දේශපාලන නායකයා. අපේ විශ්වාසය ඉදිරියට ගමන් කරන ජනතාව සමඟ ඒ ගමනේ රට ජයග්‍රහණය වෙත ගෙන යාමේ මාවත ශක්තිමත් කිරීමයි.’ ඔහු පැවසීය.