ලොතරැයි මණ්ඩලයේ මිලියන 375 ක් 'දේශපාලනයට'

Image copyright nlb.lk

මහින්ද රාජපක්ෂ පරිපාලනය විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් මිලියන 375ක් මැතිවරණ ප්‍රචාරය ඇතුළු දේශපාලන කටයුතු වෙනුවෙන් යොදවනු ලැබ ඇති බවට මණ්ඩලයේ සභාපතිනිය චෝදනා කරයි.

එයින් රුපියල් මිලියන 200ක් වය කොට තිබෙන්නේ 2014 නොවැම්බර් මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් බවද ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා සඳහන් කළාය.

එම වියදම් පිළිබඳ විස්තර ලබා දෙන මෙන් මැතිවරණ කොමසාරිස්වරයාද තමන්ගෙන් ඉල්ලීමක් කොට තිබෙන බවත් සභාපතිනිය මුදල් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළාය.

අයවැය හිඟය

"රටපුරාම හෝල්ඩින් බෝඩ්ස් 150 ක් ස්ථාපනය කරලා තියෙනව. ඒවා ඔක්කොම හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූප සහිතව තමයි තියෙන්නේ. අන්තිමට මැතිවරණ කොමසාරිස්වරයා ඒවා වහන්න කියල නියෝගයක් පවා නිකුත් කළා," ඇය කියා සිටියාය.

හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ක්‍රීඩා සංගම් වෙනුවෙන් සහ හිටපු ජනපතිවරයාගේ පියා අනුස්මරණය කිරීම පිණිස පවා මහජන මුදල් වැය කොට ඇති බවත් සභාපතිවරිය සඳහන් කළාය.

"කාල්ටන් නෙට්වර්ක් එකේ මැරතන් එහෙකට සල්ලි දීල තියෙනව. ඩීඒ රාජපක්ෂ මෙමෝරියල් ලයිටින් කියල ලක්ෂ දෙකහමාරක් ගෙවනවා."

ආයතනයේ ප්‍රවර්ධනය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 400ක් වෙන් කර තිබූ බවත්, එයින් මිලියන 375ක් මෙසේ දේශපාලන කටයුතු වෙනුවෙන් වය කොට ඇති බවත් සභාපතිනිය පවසන්නීය.

එහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ, පසුගිය රජයේ මෙවැනි දූෂිත ක්‍රියාකාරකම් රටේ බරපතල අයවැය හිඟයක් ඇතිවීමට හේතුවූ බවයි.

මෙම චෝදනාව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැතත්, තමාට සහ සිය පවුලේ සාමාජිකයන්ට එරෙහිව දේශපාලන අරමුණු සහිතව චෝදනා එල්ල කිරීමේ වැඩපිළිවෙලක් දියත් කොට තිබෙන බවට ඔහු මීට පෙර ආණ්ඩුවට චෝදනා කොට තිබේ.