ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාර්ලිමේන්තුව විසුරුවීම 'තවත් කල් යාවි'

විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමේ මෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ 19 වැනි සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකම එක්වර සම්මත කරගත යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව හිටපු අමාත්‍ය කුමාර් වෙල්ගම පවසයි.

සිකුරාදා සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම තීරණයට එළැඹි බවයි, මන්ත්‍රීවරයා බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

"අපි තීරණය කළේ ඒ සංශෝධන දෙකම එකවිට ගේන්න. එතකොට අපි අපේ සහයෝගය දෙන්නම් කියල," ඔහු පැවසීය.

විසුරුවා හැරීම 'කල් යාවි'

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල කප්පාදු කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවත්, එය සම්මත වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා පොලොන්නරුවේදී ප්‍රකාශ කොට තිබුණි.

එහෙත් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සිකුරාදා එළැඹි තීරණයට අනුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවත් පමාවීමට ඉඩ තිබෙන බවයි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම බීබීසී යේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේ.

"මම දන්නේ නෑ. නමුත් දැන් මට පේන හැටියට අද හෙටම විසුරුවා හරින එකක් නෑ කියල තමයි මට වැටහෙන්නේ."

පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තීන්දුවට ජනාධිපතිවරයාද එකඟත්වය පළ කළ බවත් ඔහු සඳහන් කළේය.

"ජනාධිපතිතුමත් කිවුව ඒකට එකඟයි, එතුමත් මැතිවරණ ක්‍රමයයි මේකයි දෙකම එකට ගේන්න එකඟයි. ඒක නිසා නැවත මේක සාකච්ඡා කරන්න කමිටුවක් පත් කළා."

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් 'සියයට හැත්තෑ පහක පමණ' එකඟත්වයක් දැනටමත් ඇති වී තිබෙන බව පවසන මන්ත්‍රීවරයා, එය සම්පූර්ණ කිරීම පිණිස ජීඑල් පීරිස් සහ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගෙන් යුත් කමිටුවක් පත් කරන ලද බවත් සංදේශයට පැවසීය.

කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා පළ කළ අදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ නායකයන්ගේ නිල මතය දැයි සනාථ කරගැනීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.