‘යාපනයේ මාධ්‍ය නිදහසට තහංචි’ - දෙමළ මාධ්‍යවේදීන්

Image caption ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ඉල්ලමින් උද්ඝෝෂණයේ

ශ්‍රී ලංකා පොලීසිය විසින් යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිදු කරනු ලබන තර්ජන,බියවැද්දීම් සහ අත්අඩංගුවට ගැනීම් නිසා ඔවුන්ට නිදහසේ සිය වෘත්තිය ඉටු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ යාපනය ලේකම් එස්.දයාබරන් පවසයි.

යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන ලෝහා දයානන්දන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිද්ධියෙන් පසුව යාපනයේ සෙසු මාධ්‍යවේදීන් බියට පත්ව සිටින බව දයාබරන් කියා සිටි බවයි බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ පවසන්නේ.

ලෝහා දයානන්දන් මේ වනවිට ඇප මත මුදා හරිනු ලැබ සිටින අතර ඔහුට යළිත් තර්ජන එල්ල වනු ඇතැයි බියෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මාධ්‍ය වෙත ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.

එසේ වුවද, යාපනයේ නෙල්ලිඅඩි පොලිසියේ නිලධාරියෙකු විසින් පළාතේ දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් තම පුවත්පතට ලිවීමෙන් පසුව එය වැරදි යැයි කියමින් පොලිසිය තමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ලෝහා දයානන්දන් පවසයි.

සත්‍යයට තහංචි නෑ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් මේ පිළිබදව විමසූවිට ඔහු කියා සිටියේ, අදාළ මාධ්‍යවේදියා එක්තරා වෙබ් අඩවියක සදහන්ව තිබූ අසත්‍ය ප්‍රවෘත්තියක් සත්‍යය වූවක් හැටියට පළ කිරීම නිසා ඔහු පොලිසියට කැඳවා ප්‍රශ්න කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි.

අදාළ ප්‍රවෘත්තියේ දැක්වෙන ආකාරයට නෙල්ලිඅඩි පොලිසියේ නිලධාරියකු දැරියක් දූෂණය කොට නොමැති අතර එය අසත්‍ය ප්‍රවෘත්තියක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ සිද්ධිය හැරුණු විට යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පොලිසියෙන් තර්ජනය කිරීම්,බියවැද්දීම් සිදු වන බවට තමන්ට තොරතුරු ලැබී නොමැති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, ඕනෑම මාධ්‍යවේදියෙකුට සත්‍යය ලිවීම සඳහා යාපනයේ නිදහස පවතින බවයි කියා සිටියේ.