මධ්‍යම කාරක සභා තහනම 'බොහෝ දුරට ඉවත් කෙරේවි'

Image caption "මම හිතනවා ඔය දැනට ලිපි නිකුත්වෙලා තියෙන මධ්‍යම කාරක සභිකයන් සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් මතයකට එන්න පුළුවන් වේවි කියල ඉස්සරහට"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකුගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණය බොහෝ දුරට යළි සලකා බැලෙනු ඇති බව පක්ෂයේ ජාතික සංවිධායකවරයා පවසයි.

සාලින්ද දිසානායක, එස්එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටීබී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් පස්දෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්හිටවනු ලැබ ඇති බව ඔවුන්ට සෙනසුරාදා ලිපි මගින් දැනුම් දී තිබේ.

එය මීට දින කිහිපයකට පෙර ගනු ලැබූ තීන්දුවක් බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටි ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා, එම ලිපි ලැබුණු මන්ත්‍රීවරයකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සෙනසුරාදා උදය වරුවේ ජනාධිපතිවරයා හමුවී ඉතා සුහද සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් සඳහන් කළේය.

තීන්දුවලට පටහැනි වීම

"ඒ නිසා මම හිතනවා ඔය දැනට ලිපි නිකුත්වෙලා තියෙන මධ්‍යම කාරක සභිකයන් සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් මතයකට එන්න පුළුවන් වේවි කියල ඉස්සරහට," ඔහු පැවසීය.

කෙසේ නමුත් ඒ සම්බන්ධ අවසාන තීන්දුව ගැනීමේ බලය පවතින්නේ පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයාට බවද හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කළේය.

පසුගිය පස් වැනි දින මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබුණ තීන්දුවලට පටහැනිව කටයුතු කිරීම සිය සාමාජිකත්වය අත්හිටුවීමට හේතු වූ බව එම මධ්‍යම කාරක සභිකයන්ට ලැබුණු ලියුම්වල සඳහන් කර ඇති බවයි වාර්තාවෙන්නේ.

කෙසේ නමුත් ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට හේතුව කවරක්ද යන්න සම්බන්ධයෙන් තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවද ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර