ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහ මැතිවරණය 'අලුත් මැතිවරණ ක්‍රමය යටතේ'

කේවල ක්‍රමය යටතේ ආසන 165ක්, සමානුපාතික ක්‍රමය යටතේ ආසන 60 ක් සහ ජාතික ලැයිස්තුවෙන් ආසන 25 කින් සමන්විත නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟත්වයකට පැමිණි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කොමසාරිස්වරයා යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවත්, මැතිවරණ කොට්ඨාශ යළිත් නීර්ණය කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි එකම යෝජනාව එය බවත් අමාත්‍යවරයා බීබීසී සංදේශයට පැවසීය.

නව මැතිවරණ ක්‍රමය යටතේ එළැඹෙන මහ මැතිවරණය පැවැත්වීම සිය පක්ෂයේ අභිලාශය බවත් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

'පොරොන්දු ඉටු කරනවා'

එහිදී කේවල ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වෙන්නේ ආසන 160 කට පමණක් බව සඳහන් කළ අමාත්‍යවරයා, බහු ආසන වෙනුවෙන් තවත් ආසන පහක් එයට එකතු කෙරෙන බවත් කියා සිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛාව 250 ක් දක්වා ඉහල යයි.

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩුකෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතද එක්වර ඉදිරිපත් කොට සම්මත කරගත යුතු බව පසුගිය සතියේ රැස් වූ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට තිබුණි.

දින සියයේ න්‍යායපත්‍රය ප්‍රකාර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පවසන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න, එහි ප්‍රතිඵලයක් ලෙසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවත් ටික දිනෙකින් කල් යාමට ඉඩ තිබෙන බව පිළිගත්තේය.

"දවස් 100 කට කියල කිවුවේ එක්සත් ජාතික පක්ෂය. අනිත් කට්ටියගේ මතයක් තිබුන දවස් 200 ක් විතර ගන්න. ඉතින් දවස් 100 ට බැරි නම් දවස් 150 කින් වුනාම මොකද මිනිස්සුන්ට දුන්න පොරොන්දු ඉෂ්ඨ කරනවනම්?" ඔහු පැවසීය.