හමුදාව අත්හැර යන්නේ 'පෞද්ගලික ප්‍රශ්න නිසා'

Image copyright AFP
Image caption 'සෙබළුන් 40,000 කට ආසන්න පිරිසක් නීතිවිරෝධී ලෙස සේවය අත්හැර ගිහින්'

ඇතැම් හමුදා සොල්දාදුවන් නීතිවිරෝධී ලෙසින් සේවය අත්හැර යන්නේ පෞද්ගලික හේතූන් මත බව පවසන බලධාරීහු, මානසික ගැටළු හෝ සිය ගරුත්වයට නොගැලපෙන කටයුතුවල යෙදවීම හේතුවෙන් ඔවුන් සේවය අත්හැර යන බවට පල වන වාර්තා ප්‍රතික්ෂේප කරති.

විශේෂයෙන්ම ශාරීරික පුහුණුවීම් මෙන්ම සොල්දාදුවන්ට නිසි මානසික පුහුණුවක්ද ලබා දෙන බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර අවධාරණය කරන්නේ.

ඔහු ඒ බව සඳහන් කළේ, හමුදාව අත්හැර යන සොල්දාදුවන්ට යළි සේවයට බැඳීමට ලබා දුන් කාලසීමාව දීර්ඝ කිරීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

අවුරුදු නිවාඩුවද සලකා බලා පොදු සමා කාලය ලබන අප්‍රේල් 25 වැනි දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

සෙබළුන් 40,000 කට ආසන්න පිරිසක් හමුදාවෙන් පලා ගොස් ඇතැයි වාර්තා වී තිබෙන බව සඳහන් කළ බ්‍රිගේඩියර්වරයා, ලබා දුන් පොදු සමා කාලය තුල මේ වන විට 10,600 ක පිරිසක් හමුදාවට වාර්තා කොට නිල වශයෙන් අස්වීම ලබාගෙන තිබෙන බවත් පැවසීය.