ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රගීත්: පරීක්ෂණ ගැන 'සෑහීමකට පත්වෙන්න බෑ'

සිය සැමියා අතුරුදහන්වීම සම්බන්ධයෙන් නව ආණ්ඩුව ආරම්භ කර තිබෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා, පවසයි.

ඔහු අතුරුදහන්වීම සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව ආණ්ඩුව සඳහන් කළත්, එහි ප්‍රගතිය පිළිබඳව කිසිවක් තමන්ට තවමත් දැනුම් දී නොමැති බවද ඇය පවසන්නීය.

සන්ධ්‍යා එක්නැලිගොඩ ඒ බව කියා සිටියේ බිබිසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"කොහොමවුනත් මට බලාපොරොත්තුවක් තියෙනවා මේ වසර අවසානයට පෙර ප්‍රගීත්ට මොකද වුනේ කියලා හොයලා දෙවි කියලා," ඇය සඳහන් කළාය.

'රහස් කඳවුරු'

ශ්‍රී ලංකාවේ කිසිදු රහස් කඳවුරක් නොමැති බවට අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ, අතුරුදහන්වූ දහස් ගණනකට සිදුවී ඇත්තේ කුමක්දැයි හෙලි නොවී තිබෙන වාතාවරණයක අගමැතිවරයා එවන් ප්‍රකාශයක් කිරීම 'ශෝකයට කාරණයක්' බවයි.

Image caption ප්‍රගීත් අතුරුදහන්වීම පිළිබඳ පරීක්ෂණ කඩිනම් කර තිබෙන බව අධිකරණ අමාත්‍යවරයා සංදේශයට පැවසීය

මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ අතුරුදහන්වූවන් වෙනුවෙන් පෙනී සිටි නව රජයේ නියෝජිතයන් බලයට පැමිණි පසුව ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව ඇය පවසන්නීය.

සිය සැමියාගේ අතුරුදහන්වීමට සම්බන්ධ බවට සන්ධ්‍යා එක්නැලිගොඩ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දිගින් දිගටම චෝදනා කළාය.

ඔවුන් බලයෙන් පහවීම පිළිබඳව සතුටු වන බවත් ඇය සංදේශයට කියා සිටියාය.

"පුදුම බියකින් හිටියේ හැමෝම. ඔවුන්ගේ පරාජය ගැන නම් පුදුම සන්තෝසයක් තියෙන්නේ. ඒ නිසා අද යම් නිදහසක් අපි භුක්ති විඳිනවා."

ඔවුන්ගේ පරාජයෙන් පසුවත් ප්‍රගීත් පිළිබඳව තොරතුරක් නොලැබීම සහ පරීක්ෂණ අවසන් නොවීම ගැන කණගාටු වන බව පැවසූ සන්ධ්‍යා එක්නැලිගොඩ, ආණ්ඩුව වෙනස්වී ඇති අවස්ථාවකත් ප්‍රගීත් ගැන කිසිදු තොරතුරක් නොමැත්තේ ඇයි දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන බවත් වැඩිදුරටත් කියා සිටියාය.