ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

IPFK; ‘ජනරාල් සිං විග්‍රහය හැබෑවක්’- දයාන්

1987 වසරේ ඉන්දු- ශ්‍රී ලංකා ගිවිසුම අනුව ඉන්දීය සාම සාධක හමුදාවක් (IPFK) ශ්‍රී ලංකාවට යවනු ලැබීම ඉන්දීය ප්‍රතිපත්තියේ විශාල අසාර්ථක පියවරක් හැටියට ජනරාල් වී.කේ.සිං කරන විග්‍රහය ‘හැබෑවක්’වන බව ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ඉන්දියාවේ විදේශ කටයුතු භාර රාජ්‍ය ඇමති විශ්‍රාමික ජනරාල් වී.කේ.සිං පසුගියදා සිය ස්වයංචරිතාපදානය ප්‍රකාශයට පත් කළ අතර ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට යවනු ලැබීම සහ දෙමළ කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධයේ දී ප්‍රභාකරන් කොටු වූ අවස්ථාවල ඔහුට පළා යාමට ඉඩ සලසන මෙන් ඉන්දියාව උපදෙස් දුන් බවයි එම කෘතිය මගින් කියා සිටින්නේ.

Image copyright unknown
Image caption ජනරාල් වී.කේ,සිං

එම ප්‍රකාශන සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේ 1987 දී ශ්‍රී ලංකාවට යුද හමුදාවක් එවනු ලැබීම සඳහා ඉන්දියාව පොළඹවන ලද්දේ දෙමළ දේශපාලනඥයන් සහ තමිල්නාඩු ‘අන්තවාදී’ බලවේග විසින් වූ බවයි.

‘ශ්‍රී ලංකාවට හමුදාවක් එවීම නිසා ඉන්දියාවට පාඩුවක් වුනා. වෙනම තමිල්නාඩුවක් බිහි වුනොත් එය තමිල්නාඩුවටත් බලපාන නිසා දිල්ලිය එක පැත්තකින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්බන්ධයෙන් උනන්දු වුනා.අනිත් පැත්තෙන් පරස්පර විරෝධී විධියට දෙමළ ඊලාම් ගරිල්ලා ව්‍යපාරවලට උදව් කළා. ඒඅනුව තම නිදන්ගත ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඉන්දියාව කතුරක තල දෙකට අහුවුනා වගේ තත්වයකටයි පත් වුනේ’ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ජේ.ආර්.උපාය

ශ්‍රී ලංකා ආණ්ඩුව සහ දෙමළ කොටි සංවිධානය අතර යුද්ධයට ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ජනරාල් වී.කේ.සිං දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් විවරණයක නිරත වෙන ආචාර්ය දයාන් ජයතිලක කියා සිටින්නේ ‘ඇතැම් ඉන්දියානු විග්‍රහයන් අනුව ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ඉතාම කපටි ආකාරයට ඉන්දියාව කොටි සංවිධානයට එරෙහිව යුද්ධයක පටලවා’ ඇති බවක් පැවසෙන බවයි.

එම පැත්තෙන් බලන විට ‘එම උපායාත්මක පියවර ශ්‍රී ලංකාවේ පරාජයක් නොවන බවයි’ ආචාර්ය ජයතිලකගේ අදහස වන්නේ.

කෙබඳු තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙලක් හැටියට පලාත්සභා ක්‍රමය හඳුන්වා දීම සහ එය ස්ථාපිත කිරීම සිදු වුනේ ඉන්දු-ලංකා ගිවිසුම නිසා බවත් ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ආචාර්ය දයාන් ජයතිලක සමඟ බීබීසිය පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාවට මෙහිදී ඔබට සවන් දිය හැක.