නව මැතිවරණ ක්‍රමයට කුඩා පක්ෂවල විරෝධය

Image copyright my3manifesto.com
Image caption ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කර ඇති නව මැතිවරණ ක්‍රමයට කුඩා දේශපාලන පක්ෂ විරෝධය පළ කරන බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ අද (16) කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවකදී.

නව මැතිවරණ යෝජනා වලට විරෝධය පළ කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැර අනිකුත් පක්ෂවල රැස්වීමක් මෙම දහනව වැනිදින කැඳවා ඇති බවයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ.

කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය යටතේ ආසන 165ක්ද, සමානුපාතික ක්‍රමය යටතේ ආසන 60 ක් සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි විසිපහකින් සමන්විත නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟත්වයකට පැමිණි බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය දා බිබිසියට ප්‍රකාශ කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග නව මැතිවරණ සංශෝධනයත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් පමණක් එම සංශෝධනයට සහය දීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන්නේ.

ඊට විරෝධය පළ කරන නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ඔවුන්ට වාසි වන ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට දරන උත්සාහය පරාජය කිරීමට අනිකුත් පක්ෂ බහුතරයක් සමඟ එක්ව කටයුතු කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බවයි.

අධිකරණ ක්‍රියාමාර්ගයක්

Image caption ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

‘සමානුපාතික ජන්ද ක්‍රමය රැක ගැනීමට කුමන ක්‍රියාමාර්ග ගත යුතුද යන්න අපට තීන්දු කරන්න වෙනවා’ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියි.

අහෝසි කළ යුත්තේ සමානුපාතික ඡන්ද ක්‍රමය නොව මනාප ක්‍රමය බව පවසන නව සමසමාජ පක්ෂයේ නායකයා, සමානුපාතික ක්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයත් සහය දෙන්නේ නම් එය ඔවුන්ගේ පැරණි නායකයන්ට කරන "ද්‍රෝහී" කමක් ලෙසටයි එම පියවර විග්‍රහ කළේ.

ප්‍රධාන පක්ෂ දෙක ඔවුන් සතු පාර්ලිමේන්තු බහුතරය යොදා ගෙන නව මැතිවරණ ක්‍රමයක් ගෙන ඒමට උත්සාහ කලොත් අනිකුත් පක්ෂ හා එක්ව එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද පසුබට නොවන බවයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටින්නේ.

විධායක ජනාධිපති පදවිය සතු බලතල අඩු කරන 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග නව මැතිවරණ සංශෝධනයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් පමණක් 19වන සංශෝධනයට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය ගැන බීබීසිය කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේ ‘එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුට සහය දෙන මන්ත්‍රීවරුන් සමග මෙම ව්‍යවස්ථා සංශෝධන කඩාකප්පල් කිරීමට සිදු කරන ක්‍රියාවක්’ වන බවයි

ජනතා විමුක්ති පෙරමුණ

නව මැතිවරණ සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පමණක් තීරණයක් ගෙන මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සිදු කළ නොහැකි බවයි.

Image copyright JVP
Image caption සුනිල් හඳුන්නෙත්ති(පා.ම)

‘රටේ ජනතාවගේ අවබෝධය අනුව පමණක් මෙම සංශෝධන සිදු විය යුතු බවයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අවධාරනය කරන්නේ.

‘තවම කාටත් පොදුවේ එකඟ වෙන්න පුළුවන් යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ, හදිසියේම ජනතාව මත බලෙන් පටවන්න හදන මැතිවරණ ක්‍රමයකින් සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ’ජවිපෙ මන්ත්‍රීවරයා කියාසිටියි.

දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සංශෝධන යෝජනා වලට දැඩි විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

සමානුපාතික ක්‍රමය වෙනුවට මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීම එක්සත් ජාතික පක්ෂයේද ස්ථාවරය වුවත් ඔවුන් පෙන්වා දෙන්නේ එහි සැකැස්ම පිලිබඳ සාකච්ඡාවට හා එය ක්‍රියාත්මක කිරීමට කාලයක් ගත වන නිසා මෙවර මැතිවරණයත් පැරණි ක්‍රමයටම පැවැත්විය යුතු බවයි