සෝමවංශ අමරසිංහගෙන් අලුත් පක්ෂයක්

Image caption ජවිපෙන් සමු ගැනීම- සෝමවංශ අමරසිංහ

ශ්‍රී ලංකාවේ ජනතාවට 'දැන් කවුරුවත් ආමන්ත්‍රණය නොකරන බවත් ආමන්ත්‍රණය කළ අයත් මේ වනවිට එම ජනතාව අමාරුවේ දමා ඇති බවත්' ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ තමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙන බව නිවේදනය කිරීම සඳහා කැඳවූ මාධ්‍ය හමුවක දී.

'ජනතාවට යන එන මං නැති වී ඇති හෙයින් එම ජනතාවට ආමන්ත්‍රණය කිරීමට දැන් කෙනකු අවශ්‍ය බවයි' පක්ෂයෙන් ඉවත්ව යමින් සෝමවංශ අමරසිංහ සඳහන් කළේ.

‘මගේ ඉවත් වීමට හේතුව එයයි.ජනතාවට ආමන්ත්‍රණය කිරීම කෙසේ විය යුතුද කියා ජනතා විමුක්ති පෙරමුණ සොයා ගෙන නැහැ. සොයන්නෙත් නැහැ’ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයා පැවසීය.

එවැනි තත්වයක් යටතේ රටේ ජනතාවට අවශ්‍ය ජයග්‍රහණ ගෙන දීමට දැන් පක්ෂයක් අවශ්‍ය කරන බවයි ඔහු සඳහන් කළේ.

ස්වයංවිවේචනයක්

Image copyright JVP
Image caption ජවිපෙ හිටපු සහ වත්මන් නායකත්වය

‘තාම පක්ෂය පිහිටුවල නැහැ.ඒ පක්ෂය පිහිටුවීමේ දී අපි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හෝ එම පක්ෂයේ එකම හිතවතකු ලඟටවත් ගිහින් කතා කරන්නේ නැහැ.පක්ෂයෙන් සිදු වූ අසාධාරනකම් තියෙනව. වැරදි තියෙනව. මමත් ඇතුළුව කළ යුතු ස්වයංවිවේචන තියෙනව. වැරදි තක්සේරුවක් නිසා පක්ෂයෙන් යන්න සිදු වූ අයට අපි ගොඩ නගන්න යන පක්ෂයෙන් සාධාරණයක් ඉටු කරන්න පුළුවන්’ සෝමවංශ අමරසිංහ කියා සිටියි.

හිටපු නායකයා පක්ෂයෙන් සමු ගැනීම නිවේදනය කළ ඉහත කී මාධ්‍ය හමුවට තමාත් සහභාගී වූ බවයි ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

ජවිපෙ ප්‍රතිචාරය

ඔහු පවසන්නේ හිටපු නායක සෝමවංශ අමරසිංහ ඉවත් වීම නිසා පක්ෂයේ බෙදීමක් සිදු නොවන බවයි.

‘සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ තීන්දුව පෞද්ගලික එකක්. ඒ පිළිබඳව මීට කලින් පක්ෂයට දැනුම් දීමක් කර තිබුණේ නැහැ.පක්ෂයක් විධියට අපි බලාපොරොත්තු වෙනවා සෝමවංශ සහෝදරයාගේ මැදිහත් වීම ඉදිරියටත් අත්‍යවශ්‍යයි කියල’ විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ,සෝමවංශ අමරසිංහ ගත් ක්‍රියා මාර්ගය අනුමත නොකරන අතර ඔහු දිගටම පක්ෂය තුළ රඳවා ගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ.