tiger
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පින්නවල උයනේ සතුන් නිදැල්ලේ

ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් සත්ව උයන අද (අප්‍රියෙල් 17) පින්නවල දී මහජනයාට විවෘත කෙරුණි.

අලි අනාථාගාරයක් පවත්වා ගෙන යන පින්නවල දී නිදහසේ ගැවසෙන වෙනත් සතුන් ද නැරඹීමේ අවස්ථාව මහජනයාට දැන් උදා වී ඇත.

නව වන උයන පිහිටුවා තිබෙන්නේ අලි අනාථාගාරයට යාබදවයි.

අද පළමු දිනයේ පින්නවල එළිමහන් සත්ව උයනට ලඟා වූ සංචාරකයන්ට නොමිලේ ම විවිධ සතුන් නැරඹීමේ අවස්ථාව උදා විය.

මැයි මස පළමු දා තෙක් පින්නවල දී නොමිලේ සතුන් නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබෙනු ඇත.

සංචාරක ඇමති නවීන් දිසානායක අතින් නව සත්ව උයන විවෘත කරනු ලැබීමෙන් අනතුරුව දේශීය සහ විදේශීය සංචාරකයන් දහස් ගණනක් එය නැරඹු බවයි බීබීසී ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරන්නේ.

පළමු අදියර

ශ්‍රී ලංකාවේ දිවියා ඇතුළු සත්ව වර්ග කීපයක්ම මේ එළිමහන් සත්වෝද්‍යානය තුළ දැක ගත හැකි අතර අද විවෘත කෙරුණේ එහි පළමු අදියරයි .

ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා බීබීසී වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න කළ විමසීමකදී කියා සිටියේ ,නව සත්ව උයන දෙහිවල සත්වෝද්‍යානයට සහ පින්නවල අලි අනාථාගාරයට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බවයි.

‘විවෘත සත්ව උයන් සංකල්පයේ ප්‍රධාන අංගයක් වන්නේ සතුන්ට විශාල කලාප්යක්ල නිදහසේ සරි සැරීමට අවස්ථාව සැලසීම. ඒවගේම නරඹන්නන්ටත් පහසුවෙන් සතුන්ගේ හැසිරීම් ,ඉරියව් දැක ගැනීමට අවස්තාව උදා කිරීමත් මේ වැඩ පිළිවෙලේ අංගයක්’ ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා පවසයි.

මහජන ප්‍රතිචාරය

අද පින්නවල නව සත්ව උයන නැරඹීමට පැමිණ සිටි දේශීය සහ විදේශීය සංචාරකයන් නව වන උයන සම්බන්ධයෙන් දැඩි අභිරුචියකිනුයි අදහස් පළ කළේ.

‘සතුන් නිදහසේ සිටියා. අපිත් නිදහසේ සතුන් බැලුවා’එක් දේශීය සංචාරකයෙක් පැවසීය.

බීබීසියට අදහස් දැක්වූ පින්නවල ඇතැම් ප්‍රදේශවාසීහු ඔවුන්ගේ ගමට මෙවැනි සත්ව උයනක් ලැබීම ගැන සතුට පළ කළහ.

අදියර තුනකින් සමන්විත මෙම සත්ව උයන ශ්‍රී ලංකා කලාපය සහ ලෝක කලාපය යන කලාප දෙකකින් ඉදි කෙරෙන අතර අද විවෘත කෙරුණේ එහි ශ්‍රී ලංකා කලාපයයි.